මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය මහා සංඝරත්නය සහ සිංහල ජනතාවයි! – නව ජනපති රුවන්මැලි සෑ මළුවේදී කියයි…

November 18, 2019 at 1:00 pm | by emanisa.lk

මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ මහා සංඝ රත්නය සහ බහුතර සිංහල ජනතාව බව නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ඒ අනුරාධපුර රුවන්මැලි සෑ මළුවේ දී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමිනි.

සිංහල ජනතාවගේ ඡන්දෙන් පමණක් ජනාධිපතිවරණය ජයගත හැකිබව තමා මුල සිටම දැන සිටි බවත් රටත් ජාතියත් බුද්ධ ශාසනය සුරකීමට කැප වන බවත් හෙතෙම අවධාරණය කළේය.

එසේම රටේ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේදී රටේ ඒකීයත්වයට, ස්වාධීනත්වයට ගරු කරන ලෙස සියලු විදෙස් රටවලින් ඉල්ලා සිටින බවද එහිදී ජනාධිපතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

‘රටේ සිංහල ජනතාවගෙන් පමණක් මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණත් දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අපේක්ෂා කළ අයුරින් ඒ සහය ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා ලෙස නැවතත් මා ඉල්ලා සිටිනවා රටේ අභිවෘද්ධිය උදෙසා සියලු දෙනාට එකතුවන ලෙස.

වසර ගණනක ඓතිහාසික දේවල්, අපේකම, ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කරනවා. ආගමික හා ජාතික අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ගෙන ආ යෝජනා ඉටු කරමින් රටේ අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම රජයේ මූලික වගකීමක්. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු දේ ඉටු කිරීමට ධූරකාලයේදී කැප වෙනවා. 21 වැනි ශත වර්ෂයේ අභියෝගවලට මුහුණ දීමට තමා සෑම ක්ෂේත්‍රයක තාක්ෂණික දැනුම පුළුල් කරනවා යැයි ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස