මුස්ලිම් විවාහ නීතිය අවලංගු කිරීමේ සටනට මුස්ලිම් සමාජයත් එකතු වෙයි! (video)

January 8, 2020 at 10:42 pm | by emanisa.lk

ළමයින් අඩු වයසින් විවාහ වීම වළක්වාලීමේ අරමුණින් සියලු ජනකොටස් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ගැසට් නිවේදනයකින්ද පළ කර තිබේ.

මෙම පනත බලාත්මක වීමෙන් අනතුරුව සිදු කරනු ලබන කිසිදු විවාහයක් එකී විවාහයට අදාළ පාර්ශව දෙකම වයස අවුරුදු දහඅට සම්පූර්ණ කරනු ලැබ නොමැති නම් වලංගු නොවිය යුතුය.

එමෙන්ම වයස, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් ඕනෑම කරුණක් නොතකා සියළු දෙනාම සඳහා සමාන ආරක්ෂාව ශ්‍රී ලංකාව තහවුරු කර ඇති බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අඩු වයසින් සිදු කරන විවාහය හේතු කොටගෙන ලංකාවේ ළමයින් ලිංගික අපයෝජනය ඇතුළුව ශාරීරික හෝ මානසික ප්‍රචන්ඩත්වයට ගොදුරු වීම වැලැක්විම සඳහා මෙම පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙම සටනට මුස්ලිම් සමාජයේ කාති උසාවි ක්‍රමය නිසා අසරණ වූ පිරිස් සහ ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ද එකතු වී තිබේ.

මුස්ලිම් කාති උසාවි ලංකාවෙන් තුරන් කළ යුතු බවත් විනයක් නැති කාති උසාවි ක්‍රමය තමන්ට උවමනා නැති බවත් මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුලේ සභාපති මොහොමඩ් ෆියාස් ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස