කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක් මේ වන විට රුපියල් මිලියන 825ක ලාභයක් උපයා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙයි.
ජනවසම, මිල්කෝ, පොස්පේට් හා NLDB යන ආයතන මීට වසරකට පෙර රුපියල් මිලියන 3850ක් පාඩු ලැබූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ තොරතුරු නොදන්නා සමහර අය කෘෂිකර්ම අමාත්‍යාංශය ෆේල් යැයි කියන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය.
පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි පසුගියදා (04) පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.
“බොහෝ අය අපේ රටේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මත පළ කරනවා. ඩුබායි රටේ මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නෙ නෑ. නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නවා.
පොස්පේට් පොහොර ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවැරුණේ මීට මාස හයකට පෙරයි. ඒ කාලේ මේ ආයතනය පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් මේ වන විට එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගන්න අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා.
හෙක්ටයාර් 17 ක් පුරා විහිදී ඇති පොස්පේට් නිධිය මෙ.ටොන් මිලියන 60ක ධාරිතාවකින් යුක්තයි. නමුත් ඉකුත් වසර පනහ තුළ එයින් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ 3% ක් පමණයි. ඒ කියන්නේ වසරකට 0.06% ක්. ඒ අතීතය අපි වෙනස් කරලා ඉදිරි මාස දෙක තුනක් ඇතුළත පොස්පේට් පොහොර නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කරන්න කටයුතු කරන්න කියලා මම උපදෙස් ලබා දී තිබෙනවා.
පොස්පේට් පොහොර සමාගම අලෙවි කරන්නේ කිලෝ 50ක බෑගයක්, රුපියල් 550 වුණත් ආයතනයෙන් පිට වෙළඳපොලේ ඇතැම් තැන්වල පොස්පේට් පොහොර බෑගයක් රුපියල් 1000, 1100, වැනි මිල ගණන්වලට විකුණනවා. මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න ඕනෑ.
අපේ රටේ වවන්න පුළුවන් මිරිස්, ලූණු, අල පිටින් ගෙන්වනවා. ඒ අනුව අපේ රටේ මෙතරම් වටිනා පොහොර නිධියක් තිබියදී පිටරටින් පොහොර ගෙන්වීම ගැන පුදුම වෙන්නේ නෑ. ඉදිරියේ දී අපට වගා කළ හැකි බෝග 13ක් අපි ම වගා කරන්නත්, බීජ වර්ග 17ක් අපේ රටේ අපි ම නිපදවා ගන්නත් කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ අපේක්ෂාව දේශීය නිෂ්පාදන ඉහළ නංවා ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක් ගොඩ නැගීමයි.