මියගිය පළාත් සභාවලට පණ දෙන්න එපා…! රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ගේන්න…!

October 12, 2021 at 2:31 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස් කිරීමට සූදානම් නම් මිය ගිය පළාත් සභා නැවත ගෙන ඒම වෙනුවට රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ’ සංවිධානයේ අනුශාසක, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

වර්තමාන ව්‍යවස්ථාව හඳුන්වා දෙන අවස්ථාවේදීම එහි දුර්වලතා තිබූ නිසා ඒ සමඟ රටට ඉදිරියට නොහැකි බවත් රට වර්තමානයේ පත්ව තිබෙන තත්ත්වය අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙය හොඳ ම අවස්ථාව බවත් මහාචාර්ය ධම්මරතන හිමියෝ කියති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව එහිමියෝ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.

“රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරනු ලබනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ විධායක ජනාධිපති ක්‍රමය සහිත යෝජනාව එක්ක ආපු තවත් බොහෝ යෝජනා සහිත ආණ්ඩුකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

එහි තිබිච්ච අඩුපාඩුකම් එහි තිබිච්ච දුර්වලතා ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක රට ඉස්සරහට යන්න බෑ කියන තීන්දුවට එන්න සිද්ධ වුණා. ඒ නිසා ජනතාව, ජාතික සංවිධාන, විද්වතුන් යෝජනා කරලා තිබුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක නිසා දැන් ඒකට හොඳම වෙලාව. ජනාධිපතිතුමාගේම වචනවලින් කියනව නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එතුමා සූදානම්.

ඒක නිසා ප්‍රජා යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, රාජ්‍ය යාන්ත්‍රණයට ආවේණික දුර්වලතා වැටුප් විෂමතා වැනි කාරණා සියල්ල සලකා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සමග රට වාර්ගික විරසකයන්ගෙන් පෙළෙන වර්ගවාදීන්ගෙන් පෙළෙන වෙනත් වෙනත් අර්බුදයන්ගෙන් පෙළෙන සැබෑ මහජන නියෝජනයක් නොමැති තැනක තියන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් විදියට අඳුනාගෙන තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථාව.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපිල තියෙන වෙලාවක් මේ වෙලාව. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන කොටම නිරායාසයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් වීමට නියමිතව තියෙනවා. ඒක නිසා අපි දන්නවා දැන් මේ වෙලාව ඔය යටගිය පැරණි මියගිය පළාත් සභා යෝජනා ගෙනල්ල එකී පළාත් සභා මැතිවරණ යෝජනා ගෙනල්ලා අලුතින් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙන යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමග සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන තැනකට පත්කර ගැනීමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස