මිනිස්සු පෝලිම්වල මැරෙද්දි රනිල් කූලර් හයිකර ගෙන යෝග කරනවා..! – අනුර…

June 23, 2022 at 10:49 am | by emanisa.lk

මිනිස්සු පෝලිම්වල මැරෙද්දි රනිල් කූලර් හයිකර ගෙන යෝගා කරනවා යැයි ජවිපෙ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

ජනතාව ගැන කිසිම සංවේදීතාවක් නැති මෙවැනි අගමැති කෙනකුගෙන් රටට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ද මන්ත්‍රිවරයා කියයි.

“දැන් ඇති වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩිවෙන විට තිබුණාට වඩා දැඩි ව්‍යසනකාරී තත්ත්වයක්. පෝලිම්වල මිය යන, කුඹුරට ගිහින් ඒ දිහා බලාගෙන හූල්ලන, ඖෂධ නැතිව වේදනා විඳින කිසි කෙනෙක් මේ තත්ත්වයට වගකිව යුත්තන් නොවේ. ඔවුන් මේ තත්ත්වයට පත්වී තිබෙන්නේ මහජන දේපළ හොරකම් කිරීමෙන් හෝ අකාර්යක්ෂමතාවෙන් හෝ වැඩ නොකර සිටීමෙන් නොවේ.

ඒ නිසා මේ තත්ත්වයට පුරවැසියන් කිසිසේත්ම වගකියන්න ඕනෑ නැහැ. මේ තත්ත්වයට වගකියන්න ඕනෑ පසුගිය දශක හතක් තුළ රට පාලනය කළ අය සහ ඔවුන්ට සම්බන්ධ චෞර වළල්ලයි. ඔවුන්ට මේ ප්‍රතිවිපාක කිසිවක් දැනෙන්නේ නැහැ. 21 වැනිදා රනිල් වික්‍රමසිංහ කූලර් හයිකරගෙන යෝගා කළා. ව්‍යායාම කරනකොටත් කූලර් හයිකරගෙන ඉන්නවා නම් කාමරවල ඉන්න කොට කොහොම ඇත්ද? මේ වගේ නායකයන් සියලු අර්බුදවලට මුළුමනින්ම වගකියන්න ඕනෑ.

අපේ රටේ දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා මුහුණ දී තිබෙන අර්බුදයේ වගකිවයුත්තන් මේ රටේ පාලකයනුයි. ඔවුන් කිසිසේත්ම මේ අර්බුදයේ ගොදුරු බවට පත්වී නෑ. ගොදුරු බවට පත්වී තිබෙන්නේ මේ සඳහා වගකිව යුතු නැති සාමාන්‍ය පොදු ජනතාවයි.

මේ අයුක්තිය, අසාධාරණය, දූෂණය, විනාශකාරී දේශපාලනය සහ මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිහඬව සිට පලක් නෑ. එයට විරුද්ධව නැඟී සිට මේ පාලනය පලවා හරිමු. නව රටක් ගොඩනඟමු. නව ආර්ථික ප්‍රතිපත්තියකට, නව ආර්ථික සංස්කෘතියකට අපි පෙළ ගැසෙමු. ඒ පණිවුඩය ගම්දනව් පුරා ගෙනයමින් අපේ රටේ සියලු පුරවැසියන් සංවිධානය කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *