මැතිවරණ ජයග්‍රහණයට වගේම රට මෙහෙයවන සැලසුමක් අවශ්‍යයයි! එහෙම නොවුණොත් මේ ආණ්ඩුව වගේම අලුත් ආණ්ඩුවත් මාස තුනෙන් ජනතාවට එපා වෙනවා! (video)

March 26, 2019 at 4:30 pm | by admin

මැතිවරණ ජයග්‍රහණයට වගේම රට මෙහෙයවන සැලසුමක් අවශ්‍යයයි! එහෙම නොවුණොත් මේ ආණ්ඩුව වගේම අලුත් ආණ්ඩුවත් මාස තුනෙන් ජනතාවට එපා වෙනවා!

යුද්ධය ජයග්‍රහණය කිරීමට රාජ්‍ය අංශය විශාල දායකත්වයක් ලබා දුන් රාජ්‍ය සේවයේ නිලධාරීන් අද උසාවි ගාණේ ගෙන යාම නිසා අධෛර්යට පත්ව ඇති හෙයින් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් උවමනා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ විශ‍්‍රාමලත් වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් ‘පවුර’ සංවිධානයේ සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් දැක්වීම සිදුකළේය.

ජයග්‍රහණය කිරීම තරමටම ජයග්‍රහණය කරා යන මාවතත් වැදගත්. දිනනවා කියන්නෙ මැතිවරණය විතරක්ම නෙවෙයි. අපි ආණ්ඩුවක් අතට අරගත්තට පස්සෙ රටක් ගෙනියන විදිහෙන් තමයි බලන්නෙ අපි ඇත්තටම ජයග්‍රහණය කරාද කියල. එතකොට අපි ඒ තැනට යන්න කලිං රට ගෙනියන විදිහේ සැලැස්මක් නැති උනොත් මේ ආණ්ඩුවට උනා වගේම අපිවත් මාස තුනක් යද්දි මහ ජනතාවට එපා වේවි. ඒ නිසා බලය ගැනීමට වගේම රට අස්ථාවර නොකර ඉදිරියට අරං යන්නත් අපට සැලසුමක් තිබිය යුතුයි.

රාජ්‍ය සේවය අපේ රටේ ඉතා වැදගත් අංශයක්. රාජ්‍ය සේවය මත තමයි සියලූ දෙයක්ම රඳා පවතින්නේ. අපේ රටේ රාජ්‍ය සේවකයන් මිලියන 1.2 ක් පමණ සිටිනවා. රාජ්‍ය තන්ත‍්‍රයට යම්කිසි බලපෑමක් වුවත් රටට කරන්න පුළුවන්. රාජ්‍ය අංශය වැදගත් වන්නේ ඒ නිසයි. රාජ්‍ය අංශය කාර්යක්‍ෂම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. යුද්ධය අවසන් කිරීමට කැපවීමෙන් කටයුතු කළ අංශයක් තමයි රාජ්‍ය අංශය. අනිකුත් අංශවලින් ද සහාය ලැබුණා. යුද්ධය ජයග‍්‍රහණය කිරීමේදී සියලූම ආරක්‍ෂක අංශවල පිරිස් බලය විශාල වැඩිවීමක් වුණා. මූලික වැදගත්ම කරුණ එයයි. ඒ නිසයි අවුරුදු ගණනක් තිස්සේ යුද්ධය අවසන් කරගන්න බැරි වුණේ. තිබූ රජයන් ඇයි එහෙම නොකළේ? ඔවුන් බය වුණා රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වෙයි කියලා. ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කළා.

රාජ්‍ය සේවයේ විශාල සංඛ්‍යාවක් අද අධිකරණවලට ගෙන්වනවා. මේ තත්ත්වය මත රාජ්‍ය සේවකයෙක් මීට පෙර වගේ වැදගත් තීරණ අරගෙන වැඩ කරයි කියලා හිතන්න බැහැ. මේ නිලධාරීන්ව මෙවැනි තත්ත්වයකට පත් නොකිරීමට ඉදිරි රජයකට සිදුවෙනවා. ඔවුන්ව ආරක්‍ෂා කරන්න සිදුවෙනවා. එහෙම නොවුණහොත් මේ නිලධාරීන්ට නිවැරදිව තීරණ ගන්න බැරි වෙනවා. රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි තීන්දු තීරණ ගැනීමේ බලය ලබාදිය යුතුයි. රාජ්‍ය සේවය කාර්යක්‍ෂම වෙන්නත් එවැනි දේ බලපානවා. ඉදිරි රජයක් යටතේ සැලසුම් සකස් කරලා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමට ඔවුන් දිරිගැන්විය යුතුයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය තුළත් ඔවුන් මානසිකව ඉහළ තත්ත්වයකට ගෙන ඒමට එදා කටයුතු කළා. ඔවුන්ව නිසි මඟපෙන්වීමක් ලබාදී නිවැරදි තත්ත්වයකට ගෙන ඒම තුළින් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට හැකිවුණා. ඒ විශ්වාසය තිබූ නිසා සහ නිසියාකාරව මෙහෙයවූ නිසා සංවර්ධනය සීග‍්‍රයෙන් සිදුවුණා. දේශපාලනඥයෙක් වශයෙන් කළ යුත්තේ නිවැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමයි. වැරදි ප‍්‍රතිපත්ති ලබාදුන්නොත් ඒවා ක‍්‍රියාත්මක වෙන්නේ වැරදි විදිහටයි. මේ සියලූ දෙයක්ම කරන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඉදිරියේදී කටයුතු කළ යුතුයි.

මෙම අවස්ථාවට මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් ඇතුළු විශ‍්‍රාමලත් රාජ්‍ය වෘත්තීයවේදීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද කරුණාරත්න
Media Coordinator
GR Media Unit

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස