කැබිනට් අමාත්‍යවරුන්ට හා හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට මුදල් ගෙවා සිය නිල වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිත නොකරන ලෙස නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව ලිඛිත විධානයක් පනවා තිබේ.
මෙම නියෝගය ගැන අඟහරුවාදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍යවරයාද කරුණු දක්වා ඇත. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් හා හිටපු රාජ්‍ය අමාත්‍යවරැන් භාවිත කළ නිල වාහන මසකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරීමට අවසර දුන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව බවය. නිලවාහන පමණක් නොව ඔවුන්ගේ නිල නිවාසද මසකට රුපියල් ලක්ෂයක් ගෙවා ඡන්දය පවත්වන තුරු භාවිත කිරීමට එම කැබිනට් පත්‍රිකාව මගින් අවසර දී තිබිණි. එහෙත් එය මැතිවරණ නීතියට පටහැනි බව මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.
මේ ගැන කැබිනට් මණ්ඩලය දීර්ඝ ලෙස සාකච්ඡාකළ අතර මෙම කැබිනට් පත්‍රිකාව සකස් කළේ මෙයට පෙර යහපාලන රජය 2015දී මේ ආකාරයටම මැති ඇමැතීන්ට මුදල් ගෙවා ඡන්ද කටයුතු සඳහා නිල වාහන භාවිතයට අවසර දෙමින් අනුමත කළ කැබිනට් පත්‍රිකාව පූර්වාදර්ශයට ගනිමින් බව අග්‍රාමාත්‍යවරයා කැබිනට්ටුවට පෙන්වා දී තිබිණි. 2015දී එම කැබිනට් පත්‍රිකාව සම්බන්ධව මැතිවරණ බලධරයන් විරෝධයක් දැක්වූයේ නැති බවද අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.
අවසානයේ මේ ගැන කරුණු පැහැදිලි කරමින් පැරණි සහ නව කැබිනට් පත්‍රිකාවල පිටපත්ද සහිතව සවිස්තර පිළිතුරක් මැතිවරණ කොමිසමට යවන ලෙස අමාත්‍ය මණ්ඩලය කැබිනට් ලේකම්වරයාට නියම කළේය.