මැතිවරණ කොමිසමේ කොන්ද කඩල, ආණ්ඩුව හැමදාම බලයේ ඉන්න හදනවා….! – කරූ….

July 12, 2021 at 1:38 pm | by emanisa.lk

මැතිවරණ කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මාරු කරමින් තම උවමනා එපාකම් අනුව කටයුතු කරන පිරිසක් පත් කරමින් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය පවසයි.

“මැතිවරණ කොමිෂන් සභාවෙහි සේවය කරමින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවකටම ස්ථාන මාරුවීම් ලබා දෙමින් තිබෙනවා. ඔවුන් ඒ මගින් සිදු කරන්නට යන්නේ නිදහස් මැතිවරණ පිළිබඳව කැපවීමකින් ක්‍රියා කළ පළපුරුදු නිලධාරීන් පිටමං කරවීමයි. තමන්ට රිසි, තමන්ගේ උවමනාවන් අනුව ක්‍රියා කරන පිරිසක් අතට සමස්ත මැතිවරණ කොමිසන් සභාවම පත් කරවීමයි.

අවසානයේ නිදහස් සහ සාධාරණ නොවන මැතිවරණ පවත්වමින් එකම පුද්ගල කණ්ඩායමකට සදාකාලිකවම බලය අත්පත් කර ගන්නා පරිසරයක් නිර්මාණය කිරීමයි. මේ ගැන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශපාලන පක්ෂ අවධානයට යොමු කළ යුතුයි. ඒ වගේම නිදහස්, සාමකාමී හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් කෙරෙහි කැපවීමකින් ක්‍රියාකරන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද මේ ගැන බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි.

එසේ නොවුවහොත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිව යා හැකියි. ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් සිහිනයක් බවට පත් විය හැකියි. ජනතා පරාමාධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුද්‍රණය කර ඇති අකුරුවලට පමණක් සීමා විය හැකියි. මෙය දැවැන්ත අනතුරක්. කරුණාකර ජනතාවගේ නාමයෙන් මේ ගැන අවධානයට යොමු කරන්න.

සියලුම පටු අරමුණුවලින් බැහැර වී මේ රටේ සියලු ම දේශපාලන බලවේග මේ තත්ත්වයට එරෙහිව පෙළ ගැසෙන්න, එක්සත් වන්න. අද දවසේ අපගේ ප්‍රධානතම ආයාචනය වන්නේ එයයි. අපි රජයට කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන්න එපා.”

ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක දී සිදු කරූ ජයසූරිය මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස