තමා ජනතාවට සහනාධාර ලබාදෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීමේ සැලසුම් සහිතව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අනෙක් අය කිසිම සැලසුමක් නැතිව කරන්නේ මොනවාදැයි කියාවත් නොදැන සහනාධාර පොරොන්දු ලබා දෙන බව කී ජනාධිපතිවරයා රටට මුදල් නැතිනම් සහනාධාර දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
“2022 වසරේ මා බාරගත්තේ කඩා වැටුණු රටක්. මම රට හදන්න සියලුදෙනාට ආරාධනා කළා. රට බේරගන්න බැහැ, රනිල් වික්‍රමසිංහ ඉවරයි අපි එන්නේ නැහැ කියලා ඇතැම් අය කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවේ බහුතරයක් මට සහාය ලබා දුන්නා. එදා සිට ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් මට එම සහාය ලැබුණා. මම ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
මෙම මැතිවරණය සඳහා මම ඔවුන්ගේ සහාය ඉල්ලුවේ නැහැ. මැතිවරණයකදී ඕනෑම පක්ෂයකට ඕනෑම තීරණයක් ගැනීමේ හැකියාව තිබෙනවා. එතුමන්ලා වෙනම තරග කරනවා. අපි වෙනම තරග කරනවා. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ අප ඇතිකර තිබෙන ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරදීම සඳහායි.
ආර්ථිකය ස්ථාවර කිරීමේ දී මේ ප්‍රදේශවල ගොවි ජනතාවට මා ස්තූතිවන්ත විය යුතුයි. 2023 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් බවට පත් කර ගැනීමට අපට හැකි වුණා. අපට මුදල් ලැබීමත් සමග අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා
අද අපි සෑම ක්ෂේත්‍රයකටම සහන ලබා දී තිබෙනවා. උක් වගාවටත් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා. මේ සහනාධාර ලබා දුන් විට ජනතාවගේ ආදායම් වැඩි වෙනවා. අප සහ අනිත් පාර්ශ්වයන් අතර තිබෙන වෙනස එයයි.”
හම්බන්තොට බස්නැවතුම්පළ ඉදිරිපිට පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජනරැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.