මාළිගා කුමන්ත්‍රණ ජනතාව පිළිගන්නේ නෑ..! රනිල් රාජපක්ෂලගේ එක ම ගැලවුම්කරුවා..! – අනුර…

May 13, 2022 at 11:29 am | by emanisa.lk

රනිල් – ගෝඨාභයගේත් ගෝඨාභය-රනිල්ගේත් එකම ගැලවුම්කරුවන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ (12දා) මාධ්‍ය අමතමින් හෙතෙම මෙි බව ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ දෙදෙනාගේ මෙම සටකපට මාලිගා කුමන්ත්‍රණ ජනතාව විශ්වාස නොකරන බවත් රනිල් වික්‍රමසිංහ යනු හැමදාම රාජපක්ෂ පවුලේ එකම ගැලවුම්කරුවා මෙන්ම රාජපක්ෂ පවුල ද රනිල් වික්‍රමසිංහගේ එකම ගැලවුම්කරුවා බව මුළු රටම දන්නා බවත් ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.

එම නිසා පීඩාවට පත්ව සිටින ජනතාව ගෝඨාභය – රනිල් සුසංයෝගය යන විසඳුම කිසිසේත්ම පිළිනොගන්නා බව ද අනුර දිසානායක පැවැසීය.

තව ද රනිල්, ගෝඨාභය යන දෙදෙනාගේ සටකපට මාලිගා කුමන්ත්‍රණවලින් ජනතා විශ්වාසය කිසිසේත් ඇති කළ නොහැකි බැවින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජනමතයට වහාම ඇහුම්කන් දිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ රට තුළ පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (12දා) බත්තරමුල්ල පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමු වූ අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාවට ඕමල්පේ සෝභිත, පූජ්‍ය මහාචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි, හැඩිගල්ලේ විමලසාර, රජවත්තේ වප්ප, පාහියංගල ආනන්ද සාගර හිමිපාණන් ඇතුළු භික්ෂුන් වහන්සේ එකළොස්නමක් පැමිණ සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පක්ෂ නායක අනුර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස සහභාගි වූහ.

මෙම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සකස් කිරීමට යන නව ආණ්ඩුව පිළිගත නොහැකි බවටත් ජනතාවගේ වුවමනාව වෙනුවෙන් එය පරාජයට පත් කළ යුතු බවටත් දෙපාර්ශ්වයම එකඟත්වය ප්‍රකාශ කරන ලදී. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පවතින අස්ථාවරත්වය නිමා කිරීම වෙනුවෙන් කෙටි කාලයක් ඇතුළත නව ජනවරමකට අවස්ථාව ලබා දිය යුතු බව පෙන්වා දෙන ලද අතර එය සාකච්ඡාවට බඳුන් කරන ලදී.

– අනුරාධා හේරත් (මව්බිම)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස