මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මහ බැංකුව පරීක්ෂණ කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්! – අජිත් නිවාඩ් කබ්රාල්

January 7, 2020 at 10:24 am | by emanisa.lk

මේ ආණ්ඩු කාලය තුළ බැඳුම්කර වංචාවේ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඊට රුකුලක් වීමට ඒ සඳහා වගකිව යුත්තන් නම් කර තමා ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවද එම වගකිව යුත්තන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යතුමා කෙරෙහි තමා තරයේ විශ්වාසය තබන බවද ඔහු කීවේය.

‘බැඳුම්කර වංචාවේ මහා වසන් කිරීම’ මැයෙන් අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් රචිත ග‍්‍රන්ථය එළිදැක්වීම පසුගිය සිකුරාදා (03) රාත‍්‍රි කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි. එම ග‍්‍රන්ථය ජනගත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කබ්රාල් මේ බව කීවේය.

“මෙහි මොළකරු හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි. එයා තමයි මේක වසන් කිරීමට හැම පැත්තකින්ම සහාය දීල තියෙන්නේ. බැඳුම්කර නිකුතුව වැනි මහ බැංකුවේ තාක්‍ෂණික කටයුතුවලට දේශපාලනඥයන් ඇඟිලි නොගැසිය යුතුයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වීම ‘හොරාගෙ අම්මාගෙන් පේන අහනව වගේ’වැඩක්.

මෙහි වැරදිකරුවකු ලෙස චෝදනා ලබා ඇති මහ බැංකුවම කොහොමද වෝහාරික විගණනයක් කරන්නේ. එය කළ යුත්තේ විගණකාධිපතිතුමාගේ අධීක්‍ෂණය යටතේයි. එහෙම නොකර මහ බැංකුවට ගිහින් විගණකාධිපතිතුමාගේ කටයුතු කරනවා නම් අපට හරි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

මේවා තමයි වැරදි. මේ වැරදි අප ඉතාම වෘත්තීයමය ආකාරයට පෙන්වා දී තිබෙනවා. වැරදිකරුවන්ට දඬුවම් නොකර මේ වංචාව වසං කර ගෙන වසර පහක් වගේ කාලයක් ඇදගෙන ගියේ කොහොමද කියා තමාට සිතා ගැනීමටත් අපහසුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස