මහ ඡන්දෙට මට ලැබෙන මනාප ගාණට මම මේ රටේ පැළ සිටුවනවා! – ගම්මන්පිළ

July 28, 2020 at 12:21 pm | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් බැගින් සිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල ඊයේ දින (27) පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දුන්නේය.

ඔහු මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධන පුර දියසරු උයණේ දී පැවති හරිත හෙටක් – මනාපයට පැලයක් ප්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා

මැතිවරණ තමයි පරිසරයේ මාරයා බවට පත්වෙලා තියෙන්නේ. පරිසර ඇමතිවරු පරිසර අධිකාරිවල හිටපු සභාපතිවරු මැතිවරණයට බැස්සහම පරිසරය අමතක වෙනවා. කාලයක් පොලිතීන් ටොන් ගණනින් පරිසරයට එක් වුණා. පෝස්ටර් කෝටි ගණනින් පරිසරයට එකතු වුණා. අපි දන්නවා පෝස්ටර් එකක ආයුකාලය පැය කීපයයි. නැතිනම් දින කිහිපයයි. ඒ නිසා එක හදන්නේ ඉතාම බාල තීන්ත භාවිතයෙන්. වැසි කාලෙට මේ පෝස්ටරේ තියෙන විෂ රසායනික පරිසරයට එකතු වෙනවා. ලක්ෂ ගණනින් ගස් කැපෙනවා පෝස්ටර් තැනීම සඳහා. රතිඤ්ඤා හරහා ශබ්ද දූෂණයක් විතරක් නෙවේ එහි අඩංගු විෂ ද්‍රව්‍යත් පරිසරයට එකතු වෙනවා. මේ සියල්ල ම නිසා මැතිවරණ කාලයේ පරිසරය දුෂණයවී දැවැන්තම විනාශයක් සිදුවෙනවා.

ඒ වගේම මෑත කාලේ අලුත් සංස්කෘතියක් එකතු වුණා පරිසර විරෝධී මැතිවරණ ව්‍යාපාර තුළ. ඒ තමයි රථ පෙළපාලි යාම. ලොක්කෙක් කියලා දැනෙන්න නම් විශාල වාහන ප්‍රමාණයක් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ තිබියයුතු යැයි අපේක්ෂකයන් කල්පනා කරනවා. එවිට මා තනි වාහනයෙන් තනියම පැමිණෙන කොට මා වට කරගෙන පිරිසක් නැති උනාම බොහෝ දෙනෙක් අහනවා ඔහොම ආවහම ෂෝ එකක් නෑ නේද? පිරිස් බලයක් පෙනෙන්නෙ නෑ නේද ? කියලා. නමුත් වාහන විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් පරිසරයට කාබන් විමෝචනය වීමෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳ මේ අයට කිසිම අවබෝධයක් නැති බව පේනවා.

එනිසා මැතිවරණ ව්‍යාපාරයක් තුළ වාහන වල සිදුවන ඉන්ධන දහනයෙන්, පෝස්ටර් පත්‍රිකා මුද්‍රණය කිරීමට භාවිතා වන විදුලිය ජනනය කිරීම සදහා ගල් අගුරු භාවිතයෙන්, ඩීසල් යනාදිය භාවිතයෙන්. සිදුවන කාබන් විමෝචනය නිසා පරිසරයට දැවැන්ත හානියක් සිදුවෙනවා. මේ පරිසරයට මුදාහරින කාබන් උරා ගැනීමේ හැකියාව තියෙන්නෙ ගස් වැල් වලට විතරයි. මේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ සිද්ද වෙන දැවැන්ත පරිසර හානිය සමනය කරගැනීම සඳහා අපට තිබෙන හොඳම විසඳුම පරිසරය වෙනුවෙන් හැකි පමණින් ගස් වගා කිරීම පමණයි. පැලයක් එකතු කිරීම පමණයි.

මේ පිළිබඳ යම් සංකල්පයක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා. අපි අමතක කරන්න නරකයි 2009 පළාත් සභා මැතිවරණයේදී පෝස්ටර් පොලිතීන් රතිඤ්ඤා නැති මැතිවරණ ව්‍යාපාරයක් කරන බවට මම දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස එදා මා දැක්ක පරිසර විනාශය ආදර්ශයෙන් නතර කළ යුතුයි කියන විශ්වාසය නිසා තමයි එදා මම පරිසර අධිකාරියේ සභාපති ධූරයෙන් ඉවත් වෙලා දළදා වහන්සේ ඉදිරියට ගිහිල්ලා ලිඛිත ප්‍රතිඥාවක් ලබා දුන්නේ මාගේ අනාගත කිසිම මැතිවරණයක පෝස්ටර් පොලිතීන් රතිඤ්ඤා භාවිත කරන්නේ නැහැ කියලා.

අපේ ප්‍රතිඥාව අනුව පසුගිය පක්ෂ නායක රැස්වීමකදී පෝස්ටර්වලින් තොරව ජනාධිපතිවරණය කරන්න යෝජනා කරාම එක් දිස්ත්‍රික් නායකයෙක් කිව්වා ගම්මන්පිල ඇමතිතුමාගේ වැඩේ කොළඹට හොඳයි ගමට ගැළපෙන්නෙ නෑ. ගමට ෂෝ එක නැත්තං ඡන්ද ටික එකතු කරන්න බෑ කියලා. නමුත් ජනාධිපතිතුමන්ගේ තෝරාගැනීම වුණේ ෂෝ එක නැතත් ඡන්ද නැතත් පරිසරය සුරැකීම වැදගත්. පරිසරය එක, මැතිවරණය දෙක කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරපු නිසා තමන්ගේ ඡන්ද අඩු වීමේ අවදානම අරගනිමින් එතුමා පෝස්ටර්වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කිරීමට තීරණය කළා. එදා අපි කොළඹට ගෙනාපු ප්‍රතිපත්තිය අද ජාතික ප්‍රමිතිය බවට ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා.

ජාතියේ වාසනාවට මේ වන විට පරිසර හිතකාමී ගැඹුරු පරිසර සංකල්ප පිළිබඳ අවබෝධයක් තිබෙන කෙනෙක් මේ රටේ ජනාධිපති ධූරය දරනවා. ඒ නිසා මහාචාර්ය සරත් කොටගම මැතිතුමනි, මහාචාර්ය හේමන්ති රණසිංහ මැතිණියනි, සමන්ත ගුණසේකර මැතිතුමනි ඔබතුමන්ලා පරිසරය සුරැකීම පිළිබඳ මොනතරම් පර්යේෂණ කරන්න ඇද්ද? මොනතරම් වාර්තාවක් සකසන්න ඇද්ද? පරිසරයේ අධිකාරියේ ලාච්චු තුළ මෙවැනි වාර්තාවන් ගොඩගැහිලා ඇති. මේ එම වාර්තාවන් මහපොළොව යථාර්ථයක් බවට පත් කිරීමට අපට ලැබිල තියෙන ස්වර්ණමය අවස්ථාවයි.

අපි දැක්කා විල්පත්තු වනය රිෂාඩ් බදුර්දීන් විනාශ කරපු වෙලාවේ අපි ඔහු සමග සටනට බැස්සා. මම රූපවාහිනි විවාද දෙකක් රිෂාඩ් බදුර්දීන් සමග කළා තමන් විල්පත්තු වනයට හානියක් කළේ නෑ කියන මිත්‍යාව සමාජගත කරන්න උත්සාහ කරද්දී. දේශපාලකයන් බොහොම ජනප්‍රියයි කතා කරන්න. අද අවශ්‍ය වන්නේ කතාව නොව ක්‍රියාවයි. පරිසරය සුරැකීමට ප්‍රතිඥා දීමට වඩා වැදගත් වන්නේ සැබැවින්ම පරිසරය සුරැකීමයි. ඒ නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මා බලාපොරොත්තු වෙනවා ජනතාව මට ලබා දෙන සෑම මනාපයක් වෙනුවෙන්ම එක් පැලයක් ගානේ පරිසරයට එකතු කරන්න. මට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දෙන මනාප ගණන ලක්ෂ තුනක් නම් ඉදිරි වසර 5 තුළදී ලක්ෂ තුනක් නව පැළෑටි රෝපණය කිරීමේ ප්‍රතිඥාව අද ලබා දෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස