අපි නෙවෙයි මහින්ද දේශපාලනයෙන් සමුගත යුතුයි! ඔහුට නැවත කුරුණෑගලින් ඡන්දේ ඉල්ලන්න අයිතියක් නෑ! – ජාතික ලැයිස්තුව අහිමි රතන හිමිගෙන් දැඩි ප්‍රහාරයක්…

March 13, 2020 at 9:12 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවර ඡන්දයට ඉදිරිපත් නොවිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට පාලනය කරගෙන යාමට අවස්ථාවක් දී මහින්ද රාජපක්ෂ දැන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගත යුතු බවද උන්වහන්සේ පැවසූහ.

නමුත් පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ යෙදීමට මහින්ද රාජපක්ෂට හැකි බවද පැවසූ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂට අලුත් නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඉඩ දී මහින්ද රාජපක්ෂ ගෞරවාන්විත දේශපාලනයක නිරතවීමට පොහොට්ටුවේ නායකයා පමණක් වීමට කටයුතු කළ යුතු බවද පැවසූහ.

දේශපාලඥයින්ගේ පිරුවටයක් වීමට සූදානම් නැති බව ද කී උන්වහන්සේ තවත් බේබිලා රජ කරවීමට සූදානම් නැතැයිද කියා සිටියහ.

කොළඹදී පැවති විජය ධරනී ජාතික සභාවේ මාධ්‍ය හමුවක් අමතමින් හිමියන් මෙම අදහස් පලකළහ.

ගෝඨාභය රාජපක්ෂ නිර්පාක්ෂික ජනාධිපතිවරයකු කර පැත්තකට කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පැවසූ උන් වහන්සේ දෙවරක් ජනාධිපතිකම් දැරූ මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කුරුණෑගල ගොස් ඡන්දය ඉල්ලීමේ කිසිදු උවමනාවක් දැන් නැති බව ද කීහ.

පරණ සෙල්ලම නැවත ක්‍රියාත්මක වන්නේ නම් මෙම ආණ්ඩුව සමග කිසිම සම්බන්ධතාවයක් පැවැත්වීමට තමන් වහන්සේ සූදානම් නැති බව ද රතන හිමියෝ තව දුරටත් සඳහන් කළහ.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අතුරලියේ රතන හිමියන්ට මෙවර මැතිවරණයට තරග වැදීමට නාම යෝජනා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අහිමිව ඇති බවත් ජාතික ලැයිස්තුවට හෝ යෝජනා කර නැති බවත්ය.

භික්ෂූන් පාර්ලිමේන්තු දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙස මහා නායක හිමිවරුන් කළ ඉල්ලීම දැඩි අවධානයට⁣ යොමු කරන බව මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස