මනූෂ E-8 කොරියානු වීසා කාණ්ඩය නමින් හොර ගිවිසුමක් ගහලා…!

January 10, 2025 at 3:14 pm | by emanisa.lk

කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් E-8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසයි.

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර එම ගිවිසුම අත්සන් කර ඇත්තේ කොරියාවේ වන්දෝ ප්‍රාන්තයේ නගරාධිපතිවරයා සමඟ වන අතර එම ගිවිසුම අත්සන් කිරීමට පෙර අදාළ ඇමැතිවරයා විසින් කියවීමක්වත් කර නැති බව ද ඔහු පෙන්වා දෙයි.

නීත්‍යනුකූල නොවන පරිදි අත්සන් කර ඇති මෙම නීති විරෝධී ගිවිසුම යටතේ තව දුරටත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොරියාවට යැවීමේ හැකියාවක් නැති බවත් E-8 වීසා ක්‍රමවේදය යටතේ තරුණ තරුණියන් විදෙස්ගත වී විපතට පත්වුවහොත් මැදිහත් වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ අදාළ ගිවිසුම පාකිස්තානය වෙනුවෙන් සකස් කර ඇති ගිවිසුමක් බවත් යම් හෙයකින් ශ්‍රමිකයකු විපතට පත්වුවහොත් ගෙවීම් කරන ස්ථානයේ නම් කර ඇත්තේ පාකිස්තානය ලෙස බවත්ය. පාකිස්තානය වෙනුවෙන් සකස් කර ඇති ගිවිසුමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ද යොදාගෙන ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

එමෙන්ම ඊ8 වීසා ක්‍රමවේදයට අදාළ නීති විරෝධී ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොතිබූ අතර මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍යාංශයේ එක්තරා ස්ථානයක තබා තිබූ ගිවිසුමක් සොයා ගැනීමට හැකිවූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

නීති විරෝධී වන මෙම E-8 වීසා ක්‍රමවේදය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තව දුරටත් කොරියාවට යැවීම සිදු නොකරන අතර මේ යටතේ පීඩාවට පත්වූවන් වෙනුවෙන් අමාත්‍යාංශය ලෙස සහන වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *