මන්නාරමේ සමූහ මිනීවළ යාපනේ පරරාජසේකරම්ගේ කිතුණු සංහාරයේ ශේෂයයි! – සේවාර්ජිත මහාචාර්ය ටී. ජී. කුලතුංග

March 11, 2019 at 8:24 am | by admin

මන්නාරම් ප්‍රදේශයේ හමු වූ සිය ගණනක අස්ථි සහිත සමූහ මිනීවළ කෙරෙහි පසු ගිය දිනවල බොහෝ දෙනා ගේ අවධානය තදින් යොමු විය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙත චෝදනා ද එල්ල වනු වනු දක්නට ලැබිණි. මේ අස්ථි හමු වූ සමූහ මිනීවළෙහි වැඩි දුරටත් කැණීම් කිරීමටත්, අස්ථි කොටස් රේඩියෝ කාබන් කාල නිර්ණය පිණිස ‍යොමු කිරීමටත් කටයුතු සිදු වන්නේ ඒ අනුව ය. මේ පිළිබඳ තරමක අවධානයකින් අපි ද සිටියෙමු. ඊයේ සේවාර්ජිත මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා‍ සමඟ මාත්, හිතවත් ගනුෂ්ක රන්දුලයනුත් සංලාපයේ යෙදී සිටිය දී මහාචාර්ය කුලතුංග මහතා මේ පිළිබඳ මූලාශ්‍රයගත ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළි දරවු කෙළේ ය. එසේ ම මේ වන වි‍ට ඒ සමූහ මිනීවලෙන් හමු වූ අස්ථි කොටස්වල රේඩියෝ කාබන් කාලනිර්ණ වාර්තා ද ප්‍රසිද්ධියට පත් ‍කොට තිබේ. ඇමරිකාවේ ෆ්ලොරීඩාහි පිහිටි බීටා ඇනලටික් නැමැති රසායනාගාරයෙන් නිකුත් කැරුණු ඒ කාබන් කාලනිර්ණ වාර්තාව ද අපි අධ්‍යයනය කෙළෙමු. මහාචාර්ය කුලතුංග මහතා සමඟ සංලාපයෙන් අනාවරණය වූ කරුණු හා බීටා ඇනලිටික් ආයතනයේ රේඩි‍යෝ කාබන් කාලනිර්ණ වාර්තාව පදනම් කොටගනිමින් අපි මේ සටහන තබමු.

රේඩියෝ කාබන් කාලනිර්ණ වාර්තාව අනුව මේ අස්ථි කොටස් ක්‍රි. ව. 1450 – 1650 කාලයට අයත් වේ. මේ කාල වකවනුව වනාහි කෝට්ටේ රාජධානිය පුර්තුගීසි ආගමනයට මුහුණ දුන් වකවනුව යි. මේ වකවනුවේ පුර්තුගීසි ආගමනයෙන් පසු කලෙක යාපනය රාජධානියේ පාලකයා සිදු කළ මහා සංහාරයක් පිළිබඳ තොරතුරු ඓතිහාසික වාර්තාවල දක්නට ලැබේ. සේවාර්ජිත මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පෙන්වා දෙන පරිදි 1972 දී ඉංගිරිසි බසට පරිවර්තනය කොට පළ වූ “Early Christianity in Ceylon – A 17th Century Narrative” නමැති කෘතියේ 179 වැනි පිටුවේ සඳහන් වන්නේ, එවක යාපනයේ සිටි කුරිරු පාලකයා විසින් මන්නාරම් දූපතේ වාසය කළ ක්‍රිස්තියානිය වැලැඳගත් පිරිමින්, ගැහැනුන් හා ළමයින් හයසිය (600) දෙනකු තත්ත්වය, තරාතිරම, වයස, ස්ත්‍රී-පුරුෂ භාවය ආදි කිසි දු භේදයකින් තොර ව කපා කොටා සමූල ඝාතනය කරනු ලැබූ බව යි. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ පුර්තුගීසි ජාතික ෆ්රැන්සිස් සේවියර් (Francis Xavier) නැමැති පූජකයා විසින් ක්‍රිස්තියානියට හරවනු ලැබූ දේශීය ජන කණ්ඩායමකි. මොවුන් ඝාතනයට ලක් වූ ප්‍රදේශය පාටින් (Patin) නම් වූ බවත් මේ සිද්ධිය හේතුවෙන් ම ඒ ප්‍රදේශය පසු කලෙක ‘දිවිපිදූවන් ගේ නිම්නය’ (Valley of the Martyrs) නමින් ද හැඳින්වුණු බවත් ඒ කෘතියේ වැඩි දුරටත් සඳහන් වේ. පුර්තුගීසි ලේඛනවලට අමතර ව 1739 දී මයිල්වාගන පුලවර් ලියූ “යාල්පාන‍වෛපවමාලෛ” නම් දෙමළ මූලාශ්‍රයයේ ද කාර වර්ෂයේ දී සංගිලි විසින් මන්නාරමෙහි ක්‍රිස්තු ලබ්ධිය වැලැඳගත් හයසිය (600) දෙනෙකු මරා දැමුණු බව සඳහන් වී තිබේ. තව ද මුදලියාර් සී. රාසනායගම් විසින් රචනා කරන ලද “Ancient Jaffna” නම් කෘතියේ ද මේ පිළිබඳ සඳහනක් හමු වේ.

ජර්මන්‍ ජාතික ලේඛකයකු වූ ජෝසප් විකී (Joseph Vicky) සඳහන් කරන්නේ මේ මහා ක්‍රිස්තියානි සංහාරය 1544 දී සිදු වූ බව යි. “Early Christianity in Ceylon – A 17th Century Narrative” නමැති කෘතියේ179 වැනි පිටුවේ තව දුරටත් සඳහන් වන පරිදි මේ සංහාරය නිසා කෝප වූ පුර්තුගාලයේ තුන් වැනි දොන් ජුවන් රජු (Dom Juao III) යාපනයේ පාලකයාට දඬුවම් කරන ලෙස ගෝවේ සිටි පුර්තුගීසි ප්‍රතිරාජයාට (Portuguese Viceroy) කිහිප විටක් ම නියෝග කළ නමුත් වෙනත් පරිපාලන කටයුතු නිසා ඔහුට එ සේ කිරීමට නොහැකි වී තිබේ. ඊ ළඟට ප්‍රතිරාජ ධුරයට පත් වූ දොන් කොන්ස්තන්තිනෝ ද බ්රැගන්සා (Dom Connstantino de Braganza) මේ පිළිබඳ ව තමනට රජු ගෙන් නොකඩවා ලැබුණු නියෝග නොසලකා හරිනු බැරි වූ තැන 1560 සැප්තැම්බර 07 වැනි දා යාපනයේ පාලකයාට පහර දීමට හමුදා රැගෙන ගෝවෙන් නැව් නැඟ තිබේ. මේ සංහාරය සිදු කළ යාපනයේ පාලකයා පරරාජසේකරම් හෝ සංකිලි හෝ විය යුතු බව උක්ත කෘතියේ සඳහන් වී ඇති නමුත් මහාචාර්ය කුලතුංග මහතා ගේ අදහස වන්නේ සංකිලිට පෙර සිටි පාලකයකු වූ පරරාජසේකරම් විසින් මේ සංහාරය මෙහෙයවන්නට ඇති බව යි. ඊට එක් හේතුවක් වන්නේ පළමු වැනි සංකිලි ගේ රාජ්‍ය කාලය 1561න් අවසන් වීම යි. අනෙක් හේතුව නම් බ්රැගන්සා යාපනය බලා නැව් නඟින්නේ 1560 දී බැවින් ජෝසප් විකී පවසන පරිදි 1544 දී මේ සංහාරය සිදු වූයේ නම් නම් වසර දහසයක කාලයක් ගත වන තුරු ම යාපනයේ පාලකයාට දඬුවම් නො දී ප්‍රතිරාජයා බලා සිටීම සිදු විය නොහැක්කක් වීම යි.

මේ අනුව මන්නාරම් සමූහ මිනීවළෙහි ඇත්තේ මෑත කාලීන ව සමූල ඝාතනයට ලක් වූ කිසිවකු ගේ අස්ථි නොවන බවත් කෝට්ටේ යුගයේ එක් අවධියක යාපනයේ පාලකයා වූ පරරාජසේකරම් විසින් සංහාරය කැරුණු මන්නාරම් දූපතේ ක්‍රිස්තියානිය වැලැඳගත් පිරිමින්, ගැහැනුන් හා ළමයින් ගේ අස්ථි බවත් බව විශ්වාසයෙන් පැවැසිය හැකි බව සේවාර්ජිත මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා අවසාන වසයෙන් කියා සිටියේ ය.

සටහන – ශකිල රාජකරුණා
සංස්කරණය – ගනුෂ්ක රන්දුල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *