මන්ත්‍රීවරයෙක් එකතු කරගෙන ජාතික ආණ්ඩු හදන්න බෑ!

February 6, 2019 at 6:58 am | by admin

එක් දේශපාලන පක්ෂයක් හෝ මන්ත්‍රීවරයකු එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් ගොඩනැඟිය නොහැකි බවත් එජාපය උත්සාහ කරන්නේ ඇමති තනතුරු කිහිපයක් ලබා දී සිය පසුපෙළ සතුටු කිරීමට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි. හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය රටට බරක් ඇයි කිඹුල් කඳුළු හෙලලා ඒ මතින් බලයට පැමිණි එජාපය දැන් ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්න වෙර දරනවා. 19 වන සංශෝධනයේ දී රට රවටන්න ඇමති මණ්ඩලය 30ක් කරන්න විධිවිධාන යොදලා ඊට පස්සේ ජාතික ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක ඕනෑ තරම් වැඩි කරන්න පාර්ලිමේන්තුවට බලය ලබා දුන්නා. නමුත් දැන් කරන්න යන විදියට මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රි එක්ක ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සදාචාර විරෝධී පමණක් නොවේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (5) වගන්තිය අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ගත් දේශපාලන පක්ෂය අනෙකුත් දේශපාලන පක්ෂ එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය. මෙහි ඉතාම පැහැදිලිව තිබෙනවා පක්ෂ කියලා බහුවචනයෙන්. නිසා මුස්ලිම් කොංග්‍රසය විතරක් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න බෑ. තවත් එක් පක්ෂයක්වත් එකතු කරගන්න ඕනෑ. ඒ වගේම පක්ෂයක් මිස පක්ෂයක මන්ත්‍රිවරුන් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න බෑ.

ඉහත වගන්තිය අනුව ජාතික ආණ්ඩුව සැකසීමේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. ඒක කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත. ජාතික ආණ්ඩුව හැදුවට පස්සේ ඇමතිවරු ගණන වැඩි කරගන්නයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුත්තේ. 2015 සැප්තැම්බර් මාසයේ දී ඇමතිවරුන් ගණන වැඩි කිරීමේ යෝජනාව සම්මත කර ගන්න කලින් සන්ධානයේ මහලේකම් තමන් එජාපය සමග ජාතික ආණ්ඩුවක් හැදූ බවට කතානායකට දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි ඇමතිවරු ගණන වැඩි කර ගත්තේ. එසේ නම් ඇමතිවරු වැඩි කිරීමේ යෝජනාව ගේන්න කලින් ජාතික ආණ්ඩුවක් හදලා පෙන්වන්න කියා අපි ආණ්ඩුවට කියනවා.

ඇමතිවරු ගණන වැඩි කිරීම අතිශයින්ම ජනතාවගේ කෝපයට හේතුවන තීන්දුවක් බව දනිමින් එජාපය මෙහෙම කරන්නේ ඇයි ? මී ළඟ මැතිවරණ වල දී එජාපයට අන්ත පරාජයක් අත්වන බව එය දැන් මොනවා කළත් වෙනස් කරන්නත් බැරි බව එජාපය දන්නවා. නිසා අඩුම ගණනේ එජාප මන්ත්‍රිවරුන් සතුටින් තිබ්බොත් පරාජයෙන් පස්සේ නායකයින්ට තම බෙල්ල බේරා ගන්න පුළුවන් වේවි කියා හිතනවා. අද එජාපයේ ආදර්ශ පාඨය වී තිබෙන්නේ “හෙට පැරදුනත් හිතට සැපයි. අද සැප විඳලා” යන්නයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *