මධ්‍යම අධිවේගේ කොන්ත්‍රාත්තුව ගත් යහපාලන ඇමැති හෙලිකොප්ටර් ගත්තා…! ඒවයි නැඟල අහසින් ගිය අය දැන් අපට චෝදනා කරනවා….! – ජොන්ස්ටන්…

May 7, 2021 at 4:59 pm | by emanisa.lk

විපක්ෂය කටයුතු කරන්නේ ලංකාවට පමණක් කොවිඩ් වසංගතය හැදුණේ යැයි සිතා ගෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ කිරීමේ උලෙළට අද (07) එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම අතිගරු ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය කඩිනම් කරන්න හැම මොහොතෙම උපදෙස් දුන්නා. අපි අභියෝග ගණනාවකට මුහුණ දෙන පිරිසක්. විපක්ෂය දකින්නෙ ලංකාවට විතරක් කොවිඩ් හැදිලා කියලා. නැතිනම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නිසා ලංකාවට කොවිඩ් හැදිලා වගෙයි පෙන්වන්නෙ.

මේ විධියට මොන අභියෝග ආවත් අපේ රටේ සංවර්ධනය අපි ආපස්සට ගන්නෙ නැහැ. එක දවසක් අපි නවතිනවා කියන්නෙ අපි එක දවසකින් ආපස්සට යනවා. මහින්ද ජනාධිපතිතුමා යටතේ යුද්ධය අවසන් කරලා එදා වැඩ බිමක් වෙලා තිබුණ රට පහුගිය ආණ්ඩුව මුඩු බිමක් කළා. අපි මේ නැවත උත්සාහ කරන්නෙ ඒ මුඩු බිම නැවත වැඩ බිමක් බවට පත්කරන්න.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාම අපේ හිතට දැණුනා අපි ආරක්ෂිතයි කියලා. අපේ ජනාධිපතිතුමා වගේම අග්‍රාමාත්‍යතුමා දක්ෂ ලෙස මේ රට මෙහෙයවලා ආර්ථිකය නැවත ස්ථාවර කරගෙන තිබෙනවා. ජනතාව එදා අපේ ජනාධිපතිතුමා වගේම අග්‍රාමාත්‍යතුමා කෙරෙහි තැබූ විශ්වාසය පළුදුවෙන කිසි වැඩක් මේ රජය කරන්නෙ නැහැ.

මේ අධිවේගී මාර්ගය රත්නපුර ජනතාවට පමණක් නෙමෙයි මුළු රටටම වැදගත් වෙනවා. අග්‍රාමාත්‍යතුමා නිතරම මහනුවර අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කරන්නැයි අපට උපදෙස් දෙනවා. දළදා මාළිගාව වඳින්න යන බැතිමතුන්ට පහසුවක් කරන්න කියලා කියනවා. ඒ කටයුතු අපි කඩිනමින් ඉටු කරමින් යනවා.

පහුගිය ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙ ඉදිකිරීම් එක කොටසක් ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට ම දුන්නා. එතුමාලා හෙලිකොප්ටර් අරගත්තා. ඒ හෙලිකොප්ටර්වලින් ගමන් බිමන් ගිය අය අද අපට චෝදනා කරනවා.

හැබැයි අධිවේගී මාර්ග කොටසේ වැඩ අවසන් කළේ නැහැ. අධිවේගී මාර්ගවල එදා රත්තරන්ද අතුරුන්නෙ කියලා අහපු අය කළේ පිටත වටරවුම් මාර්ගයේ මංතීරු දෙකක් අඩු කරලා, අපේ ඇස්තමේන්තුවටම කොන්ත්‍රාත්තුව භාර දීලා එකෙනුත් ගසා කාපු එක විතරයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස