මට ෆේස්බුක් ෆෑන්ස්ලා අට ලක්ෂයක් ඉන්නවා! එජාපයෙන් ඉවත් කළොත් ස්වාධීනව තරඟ කරනවා!

March 3, 2019 at 10:48 am | by admin

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වන ලෙස මන්ත්‍රීවරුන් දස දෙනෙක් පැවසුවහොත් තමන් ඉවත්ව ගොස් ස්වාධීනව තරඟ කිරීමට සුදානම් බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක අවධාරණය කරයි.

පසුගිය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් පුවත්පතක් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

“සිඩ්නි ජයරත්න මහතා විතරයි මට චෝදනා එල්ල කළේ. එතුමා කිව්වෙ මම පක්ෂයේ සාමූහික වගකීම කඩනවා කියලයි. මම වීරයා වෙන්න හදන බවත් පක්ෂය ආරක්ෂා නොකරන බවත් සිඩ්නි මහත්මයා මට චෝදනා කළා. පක්ෂය සැබෑ ලෙසම ආරක්ෂා කරන්නේ සහ ඉදිරියට ගෙනියන්නෙත් අපි තමයි. බොරු කියලා බොරු කරලා පක්ෂයක් ඉදිරියට ගෙන යන්න බැහැ. මට දැනට බණින්නේ සිඞ්නි විතරයි. මෙතන ඉන්න තව මන්ත්‍රීවරුන් නම දෙනෙක් මට පක්ෂයෙන් අයින් වෙන්න කියලා කිව්වොත් මම පක්ෂයෙන් ඉවත් වෙන බව මම එදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සඳහන් කළා. අම්මපා මම එහෙම කිව්වා.

අනිත් හැමෝම වගේ කිව්වේ මට පක්ෂයෙන් යන්න එපා කියලයි. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ ඔයා පක්ෂයට ලොකු සේවාවක් කරලා තියෙන කෙනෙක්, ඔයාව පක්ෂයට තව දුරටත් ඕන කෙනෙක්, ඒ නිසා එහෙම තීරණයක් ගන්න එපා කියලා එතුමා සඳහන් කළා. ඒ වගේම එතුමා තව දුරටත් සඳහන් කළේ මට ෆේස්බුක් රසිකයන් හත් ලක්ෂ හැට දහසක් ඉන්න නිසා මගේ වචනවලට ප්‍රකාශවලට ලොකු බලයක් තිබෙන බවත් ඒ නිසා ඉතා පරිස්සමින් අදහස් දක්වන ලෙසයි. සාමූහික වගකීම ගැන සිහි තබා ගන්න යැයි එතුමා සඳහන් කළා.

මම එදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සඳහන් කළේ කවුරුත් මට පල නොකියා පලා බෙදන්න ඕනෙ නැහැ, ඕන නම් මම පක්ෂයෙන් යන්නම් කියල. මම ඇලෝසියස්ගෙන් හොර සල්ලි අරගෙන හෝ පක්ෂයට හතුරුකම් කරලා නැහැ.

එක්සත් ජාතික පක්ෂයෙන් එළියට යන්න වුණොත් මම ස්වාධීනව තරග කරනවා. මිනිස්සුන්ට ඕන නම් මාව ඇප නැතිව ගෙදර යවන්න පුළුවන්. මම වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කියලා හිතනවා නම් ඔවුන්ට මාව පාර්ලිමේන්තුවට යවන්නත් පුළුවන්. දිනුවොත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මෙම සටන ඉදිරියට අරගෙන යනවා. එහෙම නැතුව පැරදුනොත් චිත්‍රපට ක්ෂේත්‍රයේ තවම මට රැකියාව තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස