භික්ෂු දේශපාලනය කොරෝනාවලට වඩා භයානකයි! ඡන්දේට එනවා නම් සිවුරු ඇරලා එන්න! නැත්නම් ඔවුන් පැරදවීම සසුනට කළ හැකි ලොකුම සේවයයි! – ආචාර්ය නලින් ද සිල්වා

March 16, 2020 at 12:50 pm | by emanisa.lk

රතන හාමුදුරුවෝ සහ සමිත හාමුදුරුවෝ

රතන හිමියන් පක්‍ෂයක් හදලා. උන්වහන්සේගේ පක්‍ෂයේ ඉන්න හාමුදුරුවරුන් දින කිහිපයකින් නාම යෝජනා දෙන්න බලාපොරොත්තු වන බව පේනවා. අප එයට විරුද්ධ වෙන්න ඕන. හාමුදුරුවරුන්ගේ දේශපාලනය ගැන අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් කතා කර තිබෙනවා. රතන හාමුදුරුවන් කරන්නේ භික්‍ෂු දේශපාලනයක් නොව ගිහි දේශපාලනයක්. උන්වහන්සේ සහ තවත් හාමුදුරුවරුන් සසුන නැති කිරීමට ඉදිරිපත් වන බවයි කියන්න තියෙන්නෙ.

රතන හාමුදුරුවන් ගැන මා අවුරුදු තිස්පහක් පමණ දන්නවා. උන්වහන්සේ හා චම්පක රණවක හිටියේ එකට. අප සමගත් ඉතා කෙටි කාලයක් කටයුතු කළා. උන්වහන්සේ බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ ගෝල නමකට ඉන් පසුව කියා ඇත්තේ නාලක හාමුදුරුවන් නලියා (මා) සමග වැඩ කළොත් නාලක හිමියන්ගේ සිවුර ගලවනවා කියා. නාලක හාමුදුරුවන් තවමත් මා සමග වැඩ කරනවා. උන්වහන්සේගේ සිවුර ගලවලත් නැහැ.

රතන හාමුදුරුවන් චම්පක සමග එකතු වී තමයි අර හාමුදුරුවරුන් දහනමක් පමණ පාර්ලිමේන්තු වැඩැම්මෙව්වෙ. එයින් සසුනට වූ යහපත කුමක් ද? ඒ අවස්ථාවේ මා ලියූ මැතිවරණය හා හාමුදුරුවන් නම් පොත් පිංචෙහි අඩංගු කරුණු අදටත් වලංගුයි. රතන හාමුදුරුවන්ට අඩු තරමෙන් ඇතිරිල්ලක් දැමූ ආසනයක් පාර්ලිමේන්තුවේ ලැබෙනවා ද? රතන හාමුදුරුවන් පසු කලෙක චම්පකගෙන් වෙන් වන්න ඇති. එහෙත් බලය ලබාගැනීමේ වුවමනාවෙන් නම් වෙන් වෙලා නැහැ. හාමුදුරුවරුන් දේශපාලන බලය සඳහා සටන් කිරීම භික්‍ෂු දේශපාලනය නො වෙයි.

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සංධානය (එය පොහොට්ටුවෙන් තරග කිරීම වෙන ම වැඩක්) රතන හාමුදුරුවන්ට නාම යෝජනා දී නැති බවයි පේන්න තියෙන්නෙ. එය සංධානය විසින් කෙරුණු හොඳ වැඩක්. ඒ තීරණය ගැනීම ගැන අදාළ සියල්ලන්ට පිං දෙන්න ඕන. හාමුදුරුවරුන් භික්‍ෂු දේශපාලනය නොවන දේශපාලනයක යෙදීම නව කොරෝනා වෛරසයටත් වඩා භයානක වෛරසයක් පැතිර යෑමක්. නව කොරෝනා වෛරසෙයෙන් ප්‍රවේසම් වෙන්න ඕන. ඒක දෙයියන්නෙ ලෙඩක්. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා දේශීය වෙදකමට ඉන් ප්‍රවේසම් වීමට ක්‍රම තියෙනවා. ඒ ගැන පසුව ලියන්න ඕන.

ඒත් හාමුදුරුවරුන්ගෙ මැතිවරණ දේශපාලනය සසුනට වෛරසයකටත් වඩා අහිත කරයි. රතන හාමුදුරුවන් ප්‍රමුඛ පිරිස (හාමුදුරුවරුන් හා අනෙක් අය) පරාද කරන්න ඕන. එය දීර්ඝ කාලීනව ගත් කල සසුනට යහපත් ප්‍රතිඵල ගෙන දේවි. එක්තරා ප්‍රසිද්ධ හාමුදුරුනමකට අනුව රතන හිමියන්ට හා අනෙක් හාමුදුරුවරුන්ට ඡන්දය දෙන අය අපාගත වේවි.

මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් අදාළ හාමුදුරුවරුන්ට පළමුව උපැවිදි වෙන්න පුළුවන්. උපැවිදි වෙලා යුද්ධයට ගිය හාමුදුරුවරුන් ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. එපමණක් නොව උපැවිදි වෙලා රජ වූ සෙනරත් රජු ගැනත් අප දන්නවා. හාමුදුරුවරුන් කෙළේ රජවරුන්ට හා සෙසු ගිහියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම මිස රජවීම නො වෙයි. රතන හාමුදුරුවන් අපේ ඉතිහාසයට ගරු කරන්නේ නැහැ. චම්පකත් ගරු කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය රතන හාමුදුරුවන්ට නාම යෝජනා දී නැතත් බද්දේගම සමිත හාමුදුරුවන්ට නාම යෝජනා දී ඇති බව ආරංචියි. මෙය සත්‍යයක් නම් බරපතළ වරදක්. එහි සංගත බවක් ඇත්තෙත් නැහැ. රතන හාමුදුරුවන්ට එක් නීතියකුත් සමිත හාමුදුරුවන්ට හාමුදුරුවන්ට තවත් නීතියකුත් බලපාන්න විධියක් නැහැ. සමිත හාමුදුරුවන් තමයි මෙරට පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හාමුදුරුවො. එය සුදුසුකමක් නොව නුසුදුසුකමක්. මේ වැරදි නිවැරදි කර ගැනීමට කාලයයි.

සමිත හාමුදුරුවන් ඉදිරිපත් කෙරෙන්නෙ සමසමාජ පක්‍ෂයෙන් වෙන්න ඇති. ඒත් උන්වහන්සෙ නිල වශයෙන් ඉදිරිපත් කෙරෙන්නෙ සංධානයෙන්. එය වැරදියි. සමසමාජ පක්‍ෂය හරි වෙනත් පක්‍ෂයක් හරි නමක් ඉදිරිපත් කළ පමණින් ඒ නම නිල වශයෙන් ඉදිරිපත් කරන්න සංධානය බැඳිලා නැහැ. මට දැනගන්න ලැබී ඇති ආකාරයට විවිධ පක්‍ෂවලින් ඉදිරිපත් කෙරුණු ඇතැම් නම් සංධානයෙන් ප්‍රතික්‍ෂෙප කෙරී තිබෙනවා. තිස්ස විතාරණ මහතා සමිත හාමුදුරුවන්ගෙ නම වෙනුවෙන් පෙනී හිටියට උන්වහන්සේ නිල වශයෙන් ඉදිරිපත් කෙරෙන්නෙ සංධානයෙන්. සංධානය එසේ කරන්නේ සසුනට එරෙහිව.

සමසමාජ පක්‍ෂය සසුනට එරෙහි වීම හිතා ගන්න පුළුවන්. ඒ පක්‍ෂය ඉතිහාසය පුරා ම කටයුතු කරල තියෙන ආකාරයට අනුව එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. සමිත හාමුදුරුවන් පළමු වරට පාර්ලිමේන්තු වැඩියෙ සමසමාජ පක්‍ෂයෙන්. සමසමාජ පක්‍ෂය තමයි ඒ වැරදි පූර්වාදර්ශය සැපයුවෙ. එහෙත් අද සමිත හාමුදුරුවන් නිල වශයෙන් ඉදිරිපත් වෙන්නෙ සංධානයෙන්. මහානායක හාමුදුරුවරුන් ඇතුළු මහා සංඝයා වහන්සේ පක්‍ෂවලට අනුශාසනා කෙළේ භික්‍ෂූන් වහන්සේට නාම යෝජනා නොදෙන ලෙසටයි.

සමසමාජ පක්‍ෂය උන්වහන්සේලාගේ අනුශාසනය නොපිළිගන්න එක එකී පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූල වෙන්න පුළුවන්. එහෙත් සංධානයට උන්වහන්සේලාගේ අනුශාසනයට පිටින් යන්න පුළුවන් ද? සමසමාජ පක්‍ෂය සංධානයේ එක් පක්‍ෂයක් පමණයි. එසේ වුණත් නැතත් සංධානයට මැතිවරණ සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේගේ අවවාදයට පිටින් යන්න බැහැ. හාමුදුරුවරුන් පාර්ලිමේන්තු වැඩීම සම්බන්ධයෙන් සංධානයට සමසමාජ පක්‍ෂයට හිස නමන්න බැහැ.

http://www1.kalaya.org/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස