භාෂා විශාරද සම්මානිත මහාචාර්ය බලගල්ලේ දිවිසැරිය නිමකරයි….!

July 16, 2021 at 2:36 pm | by emanisa.lk

ජ්‍යෙෂ්ඨ භාෂා විශාරදයෙකු ලෙස කීර්තියට පත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය විමල් ජී. බලගල්ලේ අභාවප්‍රාප්ත විය. කෙටි කලක් රෝගාතුරව පසු වූ බලගල්ලේ මහතා මියයන විට 97 වන වියෙහි පසුවිය.

1924 වසරේ ගම්පහ බලගොල්ලේදී උපත ලද ඔහු සිය මූලික අධ්‍යාපනය ගම්පහ වික්‍රමශීලා පිරිවෙනෙන් සහ මාළිඟාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් අධ්‍යාපනය හදාරා ප්‍රාචීණ පණ්ඩිත උපාධිය සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය හිමි කර ගත්තේ ය.

1958 වසරේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භයත් සමග එහි සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුණු විමල් ජී. බලගල්ලේ කෙටි කලකින් සිංහල අධ්‍යයනාංශාධිපති තනතුරට සහ මහාචාර්ය පදවියට පත්විය. ඔහු මෙරට වාග් විද්‍යාව සහ සිංහල භාෂා ව්‍යවහාරය පිළිබඳව ප්‍රමාණික උගතෙකි.

විමල් ජී. බලගල්ලේ විසින් සිංහල භාෂාව සම්බන්ධයෙන් සහ වාග් විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල භාෂාවේ සම්භවය සහ පරිණාමය, සිංහල භාෂාවේ ප්‍රභවය සහ ප්‍රවර්ධනය වැනි විශිෂ්ට පර්යේෂණ කෘති රැසක් පළ විය.

ඒ වෙනුවෙන් ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මානය, යුනෙස්කෝ සම්මානය, රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව මෙන්ම දෙස් විදෙස් විශ්වවිද්‍යාල ද සම්මානයට පාත්‍ර විය. බලගල්ලේ මහතා සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස 1994 වසරේ සිට 2002 වසර දක්වා කටයුතු කළ අතර සිංහල මහා වංශ සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස