භාරත නම් දේශප්‍රේමියා මරා දැමූ ඝාතකයා නිදහස්…! යුක්තිය නැති රටක හිරු නොපායයි…! – සුමනා ප්‍රේමචන්ද්‍ර..

June 24, 2021 at 2:53 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම පිළිබඳ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර තැබූ ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

ඝාතකයා නිදැල්ලේය….! යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!

‘නිදොස් කොට නිදහස් කිරීම’ ආගමක් ද, ව්‍යවහාරය ද බවට පත් කොට ගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සොදුරු මිනිසාගේ ඝාතකයා විශේෂ ජනාධිපති සමාවකින් නිදහස් කර ඇත.

අභියාචනාධිකරණයේ විනිසුරන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පස් දෙනෙකු ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොවන රටක් බිහි වී තිබේ.

සතා සිව්පාවාගේ සිට ලක්දන සැමට සෙත සැදූ උතුම් පොහෝ දිනයක දී, හෘද සාක්ෂියක් ඇති සෑම මිනිසෙකුම වැරදිකරු යැයි හොදින්ම දන්නා ඝාතකයා නිදහස් කර ඇත. එක රටක නීති රැසක් ඇති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඝාතකයා නිදහස් කර ඇත.

රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර්, මුස්ලිම් හශිම් තිදෙනාගේ ද සිරුරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත.

ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.
නීතියක් තිබූ රටක අපරාධයකට දඩුවම් ලැබිණි. නීතියක් නැති රටක, දඬුවමට යුක්තිය ඉටුනොවී අපරාධකරුවන් නිදහස් ව ඇත!

සුමනා ප්‍රේමචන්ද්‍ර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *