සමාජය නිවැරදි මාවතකට ගෙන යාමට නම් ගම සහ පන්සල අතර සබඳතා ශක්තිමත් කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
“අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි. එසේ නොවුණොත් සිදුවන්නේ විශාල විනාශයක්. දරුවන් දහම් පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළ යුතුයි. අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසි පරිදි සිදුවෙනවා. අද බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා. නමුත් අනිත් ආගම්වල අනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා.
බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අවම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි. පන්සල සමග ඇති සබඳතාව දරුවන් තුළ වර්ධනය කළ යුතුයි. එසේ නොවුණොත් ගමත් පන්සලත් ඈත් වෙනවා. සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත් පන්සලත් එකට පවත්වාගෙන යා යුතුයි. මෙි විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ පන්සල දියුණු කරන්න කැපවී කටයුතු කිරීම අගය කළ යුතුයි.
ගමේ පන්සල තමයි ගමේ කේන්ද්‍රස්ථානය. ගමේ ජනතාවට පන්සල සමග කටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරු කරවීම අපේ වගකීමක්. මේ ප්‍රදේශයේ විවිධ ජාති ආගම් අදහන ජනතාවක් ඉන්නේ. ඔබේ ප්‍රදේශයේ සාමූහික සුහදතාව ලෝකයට ම ආදර්ශයක්. අද වන විට අපි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට සංවර්ධනය කිරීමේ වැඩකටයුතු කරමින් යනවා. රටේ සංවර්ධනය කාර්යයන් නිසි පරිදි ඉදිරියටත් ඉටුකරනවා.”
පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය, ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.