බෝම්බ බියක් සමාජයේ පැතිර යනවා…! ජාතික ආරක්ෂාව අනතුරේ…! – ජාතික විද්වත් සංඝ සභාව

October 5, 2021 at 1:37 pm | by emanisa.lk

රාජ්‍යයක මුඛ්‍ය අරමුණ වන්නේ එහි වෙසෙන පුරවැසියන්ගේ ආරක්ෂාව සෑම අතින් ම තහවුරු කිරීම බව ජාතික විද්වත් සංඝ සභාව විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවමින් පවසයි.

එහෙත් අද වන විට රටේ ජාතික ආරක්ෂාව ඉතා බියකරු ලෙස බිඳ වැටෙමින් ඇති බවත් විවිධ බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව ප්‍රචාරණයන් පැතිර යන බවත් ජාතික විද්වත් සංඝ සභාව විසින් පොලිස්පතිවරයා දැනුම්වත් කර තිබේ.

පොලිස්පතිතුමනි,

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධවයි

රාජ්‍යයක මුඛ්‍ය අරමුණ වන්නේ එහි වෙසෙන පුරවැසියන්ගේ ආරක්ෂාව සෑම අතින්ම තහවුරු කිරීමය. ජාතික ආරක්ෂාවට මේසා විශාල වැදගත්කමක් පවතින බැවින් එය සැලකෙනුයේ සියලු දේශපාලන න්‍යාය පත්‍රවලට ඉහළින් තැබිය යුතු මහජන අභිලාෂයක් ලෙසය. එනමුදු අද වන විට රටේ ජාතික ආරක්ෂාව ඉතා බියකරු ලෙස බිඳවැටෙමින් පවතින බවක් බැලූ බැල්ම ට පෙනෙනන්ට ඇති බැවින් සිවිල් ආරක්ෂාවට අදාල වගකීම් සහගත තනතුරක් හොබවන ජනරජයේ පොලිස්පතිවරයා වන ඔබතුමා වෙත මේ සංදේශය ඉදිරිපත් කිරිමට අපි අදහස් කළෙමු.

2018 අප්‍රෙල් 21 වන පාස්කු ඉරුදින අප රට තුළ සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුත්තන් නිසි පරිදි හඳුනා ගැනීමටත් ඔවුන් නීතිය හමුවට පැමිණ වීමටත් රටක් ලෙස අපි අසාර්ථක වී ඇත්තෙමු. මේ ත්‍රස්තවාදී ක්‍රියාව ආගමික අන්තවාදී ක්‍රියාවක් බවත් එයට සහභාගී වූ ත්‍රස්තවාදීන් එම අන්තවාදී කටයුතුවල දිගු කලක් තිස්සේ නියුතු වෙමින් සිටි බවත් තව දුරටත් රහසක් නොවේ. එසේම ප්‍රහාරය එල්ල වූ ආකාරය සහ ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ අතීත සම්බන්ධතා ගැන විමසා බැලීමේදී සහ විමර්ශන කමිටු හමුවේ අනාවරණය වූ ඇතැම් කරුණු අනුව මෙකී ආගමික අන්තවාදය පසුපස අදෘෂ්‍යමාන හස්තයක් තිබිය හැකි බව ද අප සමාජයේ මේ වන විටත් තහවුරු වී ඇති මතයකි.

මෙබඳු පසු බිමක් තුළ පාස්කු ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාර තව දුරටත් ඇති වීමේ ඉඩකඩක් පවතින බවත් ඒ් සඳහා තමන්ට සාක්ෂි සාධක තිබෙන බව ද ප්‍රකට මාධ්‍ය මගින් කරුණු අනාවරණය කළ පුද්ගලයන්ගෙන් ඔබතුමා යටතේ පවතින් පොලිස් දෙපාර්තමෙන්තුව හෝ රටේ ආරක්ෂක අංශ මෙතෙක් කරුණු විමසීමක් නොකිරීම අපට මහත් ගැටළුවකි.

ත්‍රස්තවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් අප්‍රමාණව බැටකා ඇති අප රටට තවදුරටත් එබඳු ගැටුම් අවශ්‍ය නොවේ. එනමුත් බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය කිරීමට පදනම සැකසෙන අයුරින් මෑත දී ඇතැම් සමාජ ක්‍රියාකාරිකයන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කරුණු දක්වන අයුරු අපි දුටුවෙමු. එනමුදු එබඳු වාතාවරණයක් වළක්වා ගැනීම සඳහා වගකිව යුතු බලධාරීන් ක්‍රියා කරන බවක් ද නොපෙනේ.

මෙබඳු පසු බිමක් තුළ නාරාහේන්පිට ‘ලංකා හොස්පිට්ල්’ රෝහල් පරිශ්‍රයේ සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ කුඩා අත්බෝම්බ හමුවීමේ සිදුවීම් පිටුපස ද සිටිනා වගකිව යුත්තන් කවුරුන්දැයි තවමත් සමාජයට අනවරණය වී නොමැත.

එසේම මුතුරාජවෙල සහ කෙරවලපිටිය දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඒකී දේවස්ථානවලට ගොස් නාවික හමුදා සෙබළුන් කරුණු දැක්වීමේ සිදුවීම ද බරපතල සැක සංකා ජනිත කරන්නකි. මේ සිදුවීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රතිචාරය වූයේ නාවික සෙබළුන්ගේ එම කරුණු දැක්වීම පදනම් විරහිත බවය. ඒසේම පසුගිය දිනක පොලීසිය භාර අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ එය වනාහී ‘ආරක්ෂක අභ්‍යාසයක්’ බවයි.
ජනතාව මරණ බියට ඇද දමමින් කරන්නා වූ ආරක්ෂක අභ්‍යාස ගැන අපි නම් අසා නැත්තෙමු. මේ සිදුවීම් සහ බලධාරීන් ඒවා කෙරෙහි දක්වන ප්‍රතිචාර වනාහී ඉතා අසාමාන්‍ය සහ පුදුමාකාර ඒවාය. ඒසේම පසුගිය දින කිහිපය තුළ ඇතැම් ආගමික සිද්ධස්ථාන වෙත ආරක්ෂක අංශ ගොස් අදාල සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල වීමේ ඉඩ කඩක් ඇති බව ප්‍රකාශ කරඇත. මේ සිදුවීම පිළිබඳ අපට ඇත්තේ බලවත් කුතුහලයක් හා සැක සංකාවකි.

මෙබඳු වාතාවරණයක් තුළ රටේ ජාතික ආරක්ෂව පිළබඳව ප්‍රශ්න නගන සමාජ ක්‍රියාකාරිකයන් හා මහජන නියෝජිතයන් රහස් පොලීසියට කැඳවමින් ප්‍රශ්න කිරීම මගින් පෙනී යන්නේ කිසියම් බිය වැද්දීමකට හා අපහසුතාවකට ඔවුන් ලක්කීරී ම බව අපගේ හැඟීම්යි. ප්‍රශ්න කළයුත්තන්ගෙන් ප්‍රශ්න නොකර සිදුකරගෙන යන මෙම ක්‍රියාවලිය මගින් පෙනී යන්නේ මෙරට ජාතික ආරක්ෂාව මහත් අනතුරකට ලක්ව ඇති බවයි.

රටේ සිවිල් ආරක්ෂාව සහ නීතිය හා සාමය සුරැකීමට වගකීමකින් බැඳී සිටින පොලිස්පතිවරයා වන ඔබ මේ මොහොතේ දූරදර්ශිව හා අපක්ෂපාතීව කටයුතු කර රටේ ජාතික ආරක්ෂව තහවුරු කිරීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි
මෙයට
දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි
ලේකම්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස