බෝම්බ කම්හලේ සේවකයන්ට අපේ විරෝධතා නොතකා විනිසුරු ඇප දුන්නා! – වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති

May 15, 2019 at 11:44 am | by admin

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාගේ වැල්ලම්පිටියේ තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

සැකකරුවන්ට ඇප නොදෙන ලෙස පොලිසිය කළ ලිඛිත හා වාචික ඉල්ලීම් නොසලකා ඇප ලබා දී ඇති බවටත් එහි ප්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පොලිස් මූලස්ථා⁣නයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් හේවාවිතාන මහතා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

සැකකරුවන්ට ඇප ලබා දීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ වූ බවට මෙම නඩුවේම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී පිටිගල කංකානම්ලාගේ දොං වසන්ත මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් පවසා ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ.

දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් සිම්පත් දෙකේ සිට අට දක්වා සංඛ්‍යාවක් ළඟ තබාගෙන ඇති බවත්, ඔවුන් අපරාධය සඳහා පැහැදිලි අවබෝධයෙන් කටයුතු කර ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇති බවත් අධිකරණයට වාර්තා කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *