බෝගම්බරින් පැනයන්න හැදූ දහ දෙනාට විශේෂ සැලකිලි!

October 15, 2020 at 11:17 am | by emanisa.lk

බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුමක් ඇති කර ගෙන ඉන් පැනයාමට උත්සාහ කළ බෝගම්බර බන්ධනාගාරයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් දසදෙනකු මේ වන විට විශේෂ සිරමැදිරියක රඳවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

මෙම පිරිස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පනවා කලහකාරී ලෙස හැසිරීමට එරෙහිව පියවර ගැනීමටද නියමිතය.

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ස්වයං නිරෝධායනයේ නිරත සිරකරුවන් 800ක් අතරින් අනුරාධපුර බන්ධනාගාරයෙන් පැමිණි දසදෙනකු මෙම සිද්ධියට මුල්වී ඇත. මොවුන් බන්ධනාගාර දොර කඩාගෙන පිටතට විත් ඇලුමිනියම් පිඟානක් පිහියක් සේ සකස් කර ගෙන එදින රාත්‍රියේ එම කොටසේ ආරක්ෂාවට සිටි සැරයන්වරයකු පිහිය පෙන්වා බිය ගන්වා පළා යාමට තැත් කර ඇත.

එහි දී සැරයන්වරයා සිරකරුවන්ට පැන යාමට නොහැකි ලෙස කෑගසන හඬ ඇසී මුර අට්ටාලවල සිටි නිලධාරීන් අහසට වෙඩි තබා සිරකරුවන් පැනයාම වළක්වා ඇත. මෙහිදී සිරකරුවන් සමග පොරබැදීමේදී සැරයන්වරයාට සුළු තුවාල සිදුවී ඇත.

මෙම සිද්ධියෙන් පසුව එම බන්ධනාගාරයේ ම ආරක්ෂිත මැදිරියකට කලහකාරී ලෙස හැසිරුණු දස දෙනා දමා ඇත. වෙනත් බන්ධනාගාරවලට යැවීමට පෙර රැඳවියන් දින දාහතරක ස්වයං නිරෝධායනයක් සඳහා පැමිණි බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තබා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස