බුවනෙක හෝටලේ ඓතිහාසික ගොඩනැඟිල්ලක් නෙමෙයි! 1878 පෙර එය සරඹ පිටියක්! 1887 අම්බලක් හදලා! – බුවනෙක රාජසභා මණ්ඩපයේ සැබෑ ඉතිහාසය නියම දෙස් විදෙස් සාක්ෂි සහිතව මෙන්න… හැකි නම් බොරු කරනු!

August 1, 2020 at 1:11 pm | by emanisalk

සාරාංශය

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ පිහිටා ඇති හා 2020 ජුලි මස දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල කුමක්ද යන්න හා එහි ඉතිහාසය පිළිබඳව සමකාලීන ඓතිහාසික සාධක මගින් හඳුනාගැනීම සඳහා මෙම ලිපියෙන් උත්සාහ කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සේවය කළ නිලධාරින්ගේ රාජකාරි ලිපි, දිනපොත් සටහන්, සිතියම් හා සැලසුම් රජයේ ආයතනවලින් සම්පාදනය කර ඇති ඒ ආයතනවල වාර්ෂික පාලන වාර්තා හා සඟරා ලිපි වැනි ලේඛන මේ සඳහා යොදාගෙන ඇත.

ඒ අනුව, මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ද ඇතුළත් භූමිභාගයේ 1878 වර්ෂය වන විට සරඹ පිටියක් පැවති බව හා 1878 වර්ෂයට පෙර එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බව මූලිකව නිගමනය කළ හැකිය. 1887 වර්ෂයේදී ඒ ස්ථානයේ මුලින්ම ජුබිලි අම්බලමක් ඉදි කළ අතර, පසුව එම අම්බලම කඩා දමා, එහි තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු ද භාවිත කර 1893-94 කාලයේ දී එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවට පැහැදිලි සාධක තිබේ. අප මාතෘකා කරගත් මෑත දී කඩා දැමුණු ගොඩනැගිල්ල එම නගර ශාලාවට යම් යම් වෙනස්කම් කිරීමෙන් පසුව නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණ වේ.

වඩා පැරණි යුගයකට අයත් වාස්තු විද්‍යාත්මක මෝස්තරයකට අනුව හෝ එවැනි අංග යොදාගනිමින් හෝ පසු කාලයක ගොඩනැගිලි නිර්මාණය කළ අවස්ථාවකට සුවිශේෂී නිදසුනක් වන මෙම ගොඩනැගිල්ල ස්වදේශික ගෘහනිර්මාණශිල්පය බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති ආකාරයටද නිදසුනකි. එබැවින් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම මෙන්ම පුරාවිද්‍යා පනත යට‌තේ ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අත්‍යාවශ්‍යය.

අරමුණ

මෙම ලිපියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ පිහිටා ඇති හා 2020 ජුලි මස දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල කුමක්ද යන්න හා එහි ඉතිහාසය පිළිබඳව ඓතිහාසික ලිඛිත සාධක මගින් හඳුනාගැනීම සඳහා උත්සාහ කිරීමයි.

පිහිටීම

කොටසක් කඩා දමන ලද ‌ගොඩනැගිල්ල මීට වසර කීපයකට පෙර දිස්වූ ස්වභාවය Google Street View ඡායාරූපයක් වන 1 රූපයෙන් දැක්වේ. එය පිහිටා ඇත්තේ දඹුළු පාර (A 6) හා දොස්තර ද සිල්වා මාවත යන මාර්ග දෙකට මැදිව දළ වශයෙන් ත්‍රිකෝණාකාර වූ භුමියකය. මේ භූමියට පිටුපසින් තාප්පයකින් වෙන්ව පිහිටා ඇත්තේ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයයි. ඊටත් පසුපසින් පිහිටා ඇති අද වන විට හිස් භූමියක් ලෙස පිහිටා ඇති භූමි කොටස ද ඇතුළත් විශාල ත්‍රිකෝණාකාර භූමිය දඹුළු පාර (A 6), දොස්තර සිල්වා මාවත (ලේන්) හා මහ වීදිය (Main Street) යන මාර්ගවලින් වට වී ඇති භූමියකි (2 රූපය). මෙම ස්ථානයේ 2006 හා 2020 ගන්නා ලද Google Earth ඡායාරූප දෙකක් 3 රූපයෙන් දැක්වේ.

මේ කොටසක් කඩා දමා ඇති ගොඩනැගිල්ල කුමක්ද යන්න සම්බන්ධව විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර ඇති මත කීපයක් හඳුනා ගත හැකිය. ඒ අතර (අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව, (ආ). කච්චේරි ගොඩනැගිල්ල, (ඇ). පැරණි උසාවි සංකීර්ණය හා (ඈ). මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක්ය යන අදහස් මූලික වේ. මේ අදහස් පිළිබඳ විමසුමක් මෙම ලිපියේ සාකච්ඡාව යටතේ දක්වා ඇත.

ක්‍රමවේදය

මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනයේදී දී අදාළ ස්ථානය කුමක්ද යන්න නිරීක්ෂණය කරන ලදි. ඉන් පසුව මේ පිළිබඳව ඇති ඓතිහාසික වාර්තා යොදාගනිමින් මෙම ගොඩනැගිල්ල කුමක්ද යන්න හඳුනා ගැනීමට උත්සාහ කිරීමට යෙදුණි. එහි දී යොදාගෙන ඇති සමකාලීන ලේඛන අතර, බ්‍රිතාන්‍ය යුගයේ මෙරට සේවය කළ නිලධාරින්ගේ රාජකාරි ලිපි, දිනපොත් සටහන්, සිතියම් හා සැලසුම් වැනි ප්‍රාථමික මූලාශ්‍රය ඇතුළත් වේ. එමෙන්ම එම නිලධාරින් විසින් සම්පාදනය කර ඇති, විවිධ ආයතනවල වාර්ෂික වාර්තා හා සඟරා ලිපි වැනි ලේඛන ද යොදාගෙන ඇත. ඒවා වැඩි ප්‍රමාණයක් ද සමකාලීන ලේඛන වෙයි.

ප්‍රතිඵල

(i) මේ භූමියේ අතීත භාවිතය හඳුනාගැනීම

අතීතයේ මේ ස්ථානයේ පිහිටා තිබූයේ කුමක්ද යන්න හඳුනාගැනීමට මුලින්ම උත්සාහ කරන ලදි. එහිදී පෙනී ගොස් ඇති ආකාරයට 1878 වර්ෂය වන විට හෝ ඊට පෙර මේ භූමිය සරඹ භූමියක් ලෙස භාවිත වී ඇති බව පෙනෙයි. ඒ 1878 වර්ෂයේදී සකස් කර ඇති සිතියමක මෙම භූමිය Parade Ground ලෙස සඳහන් කර ඇති බැවිනි (4 රූපය) (1). එම සිතියමට අනුව මේ භූමියේ ඇති එකම ඉදිකිරීම බටහිර දිශාවේ කෙලවරට වන්නට පිහිටා ඇති ඉදිකිරීමකි.

1883 වර්ෂයේ මැයි මස 16 වැනි දින දිසාපති මෙන්ම ලෝකල් බෝඩ් සභාපතිවරයා විසින් මේ භූමිය ලෝකල් බෝඩ් වෙත ලිඛිතව පවරාදී ඇත. (Local Board යනු 19-20 සියවස්වල මෙරට ප්‍රධාන නගරවල කටයුතු සඳහා පිහිටුවා තිබූ සභා වර්ගයකි. ඒ නගරසභා ඇතිකිරීමට පෙරය. මෙහි ප්‍රධානියා දිසාපති හෝ උපදිසාපතිය) එම ලේඛනයේ දී ද මේ භූමිය හඳුන්වා දී ඇත්තේ Parade Ground ලෙසය. මේ බව 1903.09.19 දින යටත්විජිත ලේකම් නැත වෙත යවන ලද ලිපියක සඳහන් වේ (2). එම ලිපියට අමුණා ඇති සැලසුමක (5 රූපය) දැක්වෙන පරිදි, වර්තමානයේ දොස්තර ද සිල්වා මාවත එකල හඳුන්වා ඇත්තේ පැරේඩ් ස්ට්‍රීට් (Parade Street) යනුවෙනි. එම පිටිය හමුදා හෝ පාසල් ළමුන් අතර භාවිත වූ බව සිතිය හැකිය. එවැනි පිටියක් ලෙස භාවිත වූ භූමියක පොළොව මතුපිට පැරණි ඉදිකිරීම් නොතිබීමට වැඩි අවස්ථාවක් පවතී.

ඒ අනුව මේ භූමි භාගයේ යම් යම් ඉදිකිරීම සිදුකිරීම ආරම්භ වී ඇත්තේ මේ කාලයන් පසුව විය යුතුය. මේ මාතෘකාවේදී වැදගත්වන ඉදිකිරීම පිළිබඳ සාධක ලැබෙන්නේ 1880 දශකයේ මැද භාගයේ සිටය.

(ii) කඩා දැමූ ගොඩනැගිල්ල හඳුනාගැනීම

මේ වාර්තා අනුව පෙනෙන්නේ මෑත දී කොටසක් කඩා දැමූ ගොඩනැගිල්ල 1887 දී පමණ ඉදි කළ ජුබිලි අම්බලමෙහි කොටස් භාවිත කරමින් 1894 දී පමණ තනන ලද නගර ශාලාව වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි. නගර ශාලාව පසුකලක වෙනස්කම් සිදුකර වෙනත් කාර්යයන් සඳහා යොදාගත් බව ද පැහැදිලිය.

දොස්තර ද සිල්වා මාවත (එකල පැරේඩ් වීදිය) හා දඹුළු පාර අතර භූමියේ ජුබිලි අම්බලමක් තනන ලද්දේ 1887 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ රාජපදප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙනි. එවැනි ජුබිලි සිහිවටන ගණනාවක් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉදිකරන ලදි. එම අම්බලම තැනීමේ අරමුණ වූයේ නගරයට පැමිණෙන පිරිස්වල භාවිතය සඳහාය. (3)

එසේ ඉදිකරන ලද අම්බලම විවෘත එකක් වූ බව 1901.05.30 දින එවකට කුරුණෑගල දිසාපති වූ කොලින් ඇලෙක්සැන්ඩර් මරේගේ දිනපොතේ ඇති සඳහනක් අනුව පෙනේ. වසර හතරක් වැනි කාලයත් තුළ එම අම්බලමෙන් ප්‍රයෝජනයක් නොමැති බව හෙළි වූ බව ඔහු කියයි. ඔහු ඊට වසර එකොලහකට පමණ පෙර කුරුනෑගල වැඩබලන දිසාපති ලෙස සිටිය දී එම අම්බලම නගරශාලාවක් බවට පත් කළ යුතු බව ලෝකල් බෝඩ් රැස්වීමකදී සඳහන් කළ බවද හෙතෙම සඳහන් කරයි. තමන් කුරුණෑගලින් මාරු වී ගිය පසු එම නිර්දේශය ඉටු කර ඇති බව සඳහන් කරන ඔහු පවසන්නේ “සෑම විටම දැකුම් කළු වූ උඩරට වාස්තු විද්‍යාත්මක මෝස්තරය” නව ගොඩනැගිල්ලේදී දී ආරක්ෂා වී ඇති බවයි. ඒ අනුව, ඉදිකරන ලද නගරශාලාව නිතර මහජන රැස්වීම්, ප්‍රසංග, නැටුම් හා නාට්‍ය ආදියට භාවිත වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. පහත දක්වා ඇත්තේ එම දිනපොත් සටහනේ උදෘතයයි.‍

“The first Jubilee Kandyan Ambalam built on style at a cost of Rs. 7000 was after standing 4 years noted as useless. It was a handsome structure but being open on all sides was never used. … I used to see 3 or 4 coolies shivering on the lee side of the pillars on a wet day. When I was here eleven years ago, I suggested at a local board meeting that it should be converted into a town hall. This was carried into effect after I left. The Kandyan style of architecture which always looks so picturesque was preserved inclosing [?] in & adding to the building & now the town has a most useful building which is always used on public occasions, for public meetings, concerts, dances & plays. It [pays] its [w]ay which so satisfactory.” (4)

මේ ආකාරයට අම්බලම, නගරශාලාවක් බවට පත් කරන ලද්දේ 1893 හා 1894 වර්ෂවල දීය. ඒ ගැන ලෝකල් බෝඩ් වාර්තාවල සඳහන් වේ. ජුබිලි සිහිවටනයක් ලෙස තැනූ අම්බලම පළාත් මාර්ග කමිටුවෙන් (Provincial Road Committee) ලෝකල් බෝඩ් මණ්ඩලය වෙත පවරන ලද බව හා එය කඩා ඉවත් කර නගරශාලා ගොඩනැගිල්ල තැනූ බව 1893 වර්ෂය සඳහා වන කුරුණෑගල ලෝකල් බෝඩ් වාර්ෂික වාර්තාවේ සඳහන්ය. එසේම අම්බලම් ගොඩනැගිල්ලේ තිබූ ද්‍රව්‍ය හැකිතාක් යොදාගත් බව ද එහි සඳහන් කර ඇත. එසේ තැනූ ගොඩනැගිල්ලේ ප්‍රමාණය දිගින් අඩි 72ක් හා පළලින් අඩි 22ක් වූ බව ද සඳහන් වෙයි. ලෝකල් බෝඩ් සභාපති මෙන්ම දිසාපති ද වූ ඊලියන් ආම්ස්ට්‍රෝන් කිංග් මෙසේ වාර්තා කරයි.

“The ambalam, which was built as a jubilee memorial, never having proved of use, was handed over to the Local Board by the Provincial Road Committee. The Board has pulled down this structure, and is building upon its site a Town Hall, utilizing as much as possible old materials. Before the end of the year the greater part of the shell of the new structure was built. Further funds have since been voted in order to extend the building. It will contain a Hall 72 feet long and 22 feet wide.” (5)

මෙම නගරශාලාව 1894 අවසන් භාගයේදී විවෘත කරන ලද බව එම වර්ෂය සඳහා වන ලෝකල් බෝඩ් වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. එහි ස්ථිර වේදිකාවක් හා නේපත්‍යාගාරයක් ද සකස්කර ඇත. මූලික වශයෙන් මෙම ගොඩනැගිල්ලට අලංකරණයක් එක් කළ උඩරට මෝස්තරයේ ලී කුළුණු ගැන සඳහන් කරන මේ වාර්තාව ඒවා එතැන කලින් තිබූ ගොඩනැගිල්ලේ උරුමයක් බව පවසයි. එසේම මේ නගරශාලාව තැනීමට රු. 5785.57ක මුදලක් වැය කළ බව ද එහි සඳහන් වෙයි. එම වාර්තාවේ අදාළ උදෘතය මෙසේය.

“The Town Hall, commenced in the previous year, was completed and opened in the end of 1894. It is provided with a permanent stage and green room, and the entire cost of the work was only Rs. 5785.57. The wooden pillars in the Kandyan style, which chiefly contribute to its ornamentation, were, however, a legacy from the building which it displaced.” (6)

එසේම මේ ගොඩනැගල්ලට නව එකතු කිරීමක් 1899 වර්ෂයේදී සිදුකර ඇත. 1899.06.22 දින එවකට සිටි දිසාපති වූ හාඩිංග්ස් හේ කැමරන්ගේ දිනපොත් සටහනක් අනුව එදින පැවති ලෝකල් බෝඩ් රැස්වීමේදී එම යෝජිත නව කොටස ගැන එකඟතාවයක් ඇති වී තිබෙන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ජුබිලි අරමුද‌ලේ ඉතිරි මුදලින් ගෙවීමට ද එකඟ වී ඇත (7). මෙසේ ජුබිලි අරමුදලෙන් මුදල් වැයකර ඇත්තේ එම ගොඩනැගිල්ලේ මුලාරම්භය ජුබිලි අම්බලම නිසා බව පැහැදිලිය.

ලිපි කිහිපයක්, සැලසුම් හා සිතියම් මගින් මේ නගරශාලාව (කලින් අම්බලම) තිබූ ස්ථානය නිශ්චිතව හඳුනාගැනීමට හැකියාව ලැබේ

1900 වර්ෂයේ පෙබරවාරි මාසයේ ආණ්ඩුකාරවරයා කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය නගරශාලාව පසුපස ඇති ඉඩමේ ඉදිකළ යුතු බව තීරණය කළ බව ෆ්රැන්සිස් කොන්රඩ් ෆිෂර් දිසාපති තැන 1900.03.12 දින යවන ලද ලිපියක සඳහන් වේ.(8) එම ඉඩම තෝරාගැනීම ගැන සිය දිනපොතේ සටහනක් තබා ඇති දිසාපතිවරයා නගර සභාවට පසුපසින් තිබූ පාසල් ශාලාව (school room) ඉවත් කර රෙජිස්ටාර් කාර්යාලය තැනීමට එම ඉඩම යොදාගන්නා ලෙස ආණ්ඩුකාරයා විසින් කළ නගර නිරීක්ෂණ‌යෙන් පසුව එකඟ වූ බව සටහන් කරයි. එදින ආණ්ඩුකාරයා නගර ශාලාවේදී ලෝකල් බෝඩ් සාමාජිකයන් හමු වී රුස්වීමක් ද පවත්වා ඇත.(9)

මේ ඉඩම සඳහන් සැලසුම් දෙකක් උක්ත ලිපි ගොනුවේ ඇතුළත්ය. ඉන් එකක් වන 1903.09.19 දින දරන ලිපියකට අමුණා ඇති සැලසුමේ දඹුළු පාර, පැරේඩ් මාර්ගය හා කඩ වීදිය (බසාර් වීදිය – අද මහ වීදිය) යන මාර්ග තුනෙන් සීමා වූ ත්‍රිකෝණාකාර භූමියේ නගරශාලාව (Town Hall) හා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල ගොඩනැගිල්ල (Land Registry) හා කුඩා ජලාශයක් (Reservoir) සලකුණු කර ඇත. (5 රූපය). එම ලිපියේ සඳහන් වන්නේ මෙම ත්‍රිකෝණාකාර භූමියේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හැර සෙසු ඉඩම් කොටස් දෙක (A හා C යන කොටස් දෙක) ලෝකල් බෝඩ් යටතට පවරා ගැනීමට අවසර ඉල්ලීමකි. මේ ගැන කලින් එකඟ වී ඇති පරිදි කටයුතු කළ යුතු බව යටත් විජිත ලේකම් සඳහන් කර ඇත)(10).

මේ මාර්ග මෙන්ම මේ ගොඩනැගිලි පිහිටා ඇති ස්ථාන ද 1907 හා 1909 වර්ෂවල ජල සම්පාදනය සම්බන්ධව සකස් කළ සිතියම්වල පැහැදිලිව සඳහන් වේ. මෙයින් 1907 වර්ෂයට අදාළ සිතියම පහත දැක්වේ (6 රූපය).(11)

නිගමනය

මේ කරුණු අනුව මෑත දී කොටසක් කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය ඇතුළත් භූමියේ සරඹ පිටිය පැවති බවත් හා 1878 වර්ෂයට පෙර එතැන ස්ථිර ඉදිකිරීමක් නොතිබූ බව නිගමනය කළ හැකිය. 1887 වර්ෂයේදී ඉදි කළ ජුබිලි අම්බලම ඒ ස්ථානයේ මුලින් පැවති බවත්, පසුව එම අම්බලම කඩා දමා, එහි තිබූ මහනුවර සම්ප්‍රදායේ දැව කුළුණු හා වෙනත් ද්‍රව්‍ය ද භාවිත කර එතැන නගරශාලාවක් ඉදි කරන ලද බවත් පැහැදිලිය. අප මාතෘකා කරගත් මෑත දී කඩා දැමුණු ගොඩනැගිල්ල එම නගර ශාලාවට යම් යම් වෙනස්කම් කිරීමෙන් නවීකරණය කළ ගොඩනැගිල්ලක් බව නිගමනය කිරීම සාධාරණ වන්නේ කරුණු දෙකක් නිසාය.

(i). පළමුවැන්න වන්නේ මේ නගර ශාලාව තැනීමේදී ඊට පෙර තිබූ අම්බලමේ තිබූ උඩරට සම්ප්‍රදායේ දැව කණු භාවිත කළ බවට සාධක තිබීමය. අද කොටසක් කඩා දමා ඇති ගොඩනැගිල්ලේ ඇති උඩරට සම්ප්‍රදායේ නිර්මාණ වන දැව කණු එසේ නගරශාලාව ඉදිකිරීමේ දී ද යොදාගත් බව සඳහන් වන ජුබිලි අම්බලමෙන් ඉතිරි වූ කණු වීමට බොහෝ දුරට ඉඩ ඇත.

(ii). දෙවන්න වන්නේ නගර ශාලාවට දකුණින් ත්‍රිකෝණයක කෝණය වැනි ස්ථානය දෙසට වන්නට තවත් ගොඩනැගිල්ලක් තැනීමට තරම් භූමියක් නොමැති වීමය. මේ බව දැක්වෙන 7 රූපය සකසා ඇත්තේ පරිමාණයට අඳින ලද 3 රූපය හා Google Earth ඡායාරූපය යොදාගනිමිනි. එහි‌ ඉඩම් රෙජිස්‍ට්‍රාර් කාර්යාලයට (1900 පමණ ඉදි කළ) සාපේක්ෂව නගර ශාලාවේ (1893-94 ඉදි කළ) පිහිටීම එය වර්තමාන Google Earth ඡායාරූපයක් මත අතිපිහිත කළ විට දළ වශයෙන් පෙනෙන ආකාරය (රෝස පාටින්) දක්වා ඇත. එහි නගරශාලා පිවිසුම හා මාර්ගය ද ලකුණු කර ඇත. එසේම දඹුළු පාර පුළුල් වී ඇති ආකාරය බැලූවිට, එදා නගරශාලා ගොඩනැගිල්ලත් දඹුළු පාරත් අතර ඇති ඉඩ ද අඩු වී ඇති බව පෙනෙයි. කුරුණෑගල නගරයේ අද පවත්නා (නව) නගර ශාලාව 1948 වර්ෂයේදී විවෘත කරන ලද්දකි. එම කාලයට පසු හෝ ඊට පෙර සිට මෙම පැරණි නගරශාලාව තිබූ ගොඩනැගිල්ල වෙනත් භාවිතයකට යොදාගෙන ඇති බව සිතිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් දැනට ජීවත්ව සිටින සමහරුන්ට අනුව මීට දශක කීපයකට පෙර කාලයේදී මෙම ගොඩනැගිල්ල උප දිසාපති කාර්යාලය ලෙස භාවිත වී ඇත.

විශේෂයෙන් පැරණි යුගයකට අයත් වාස්තු විද්‍යාත්මක මෝස්තරයට හෝ එවැනි අංග යොදාගනිමින් හෝ පසු කාලයක ගොඩනැගිලි නිර්මාණය කළ අවස්ථා ඇත. නිදසුනක් ලෙස මෙම ගොඩනැගිල්ල මෙන්ම පහත විස්තර කරන කුරුණෑගල නගරයේම ඉදි කරන ලද මුලාදෑනි නවාතැන, 20 වන සියවසේ මුල දී ඉදි කළ රුවන්වැල්ල අම්බලම දැක්විය හැකිය. එසේම ස්වදේශික ගෘහනිර්මාණශිල්පය පිළිබඳව බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති ආකාරය ද ඉහත දක්වා ඇති ඓතිහාසික වාර්තා අනුව පැහැදිලිය. එබැවින් මෙම හඳුනාගැනීම මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමට මෙන්ම පුරාවිද්‍යා පනත යට‌තේ ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට උපකාර කරගත යුතුය.

සාකච්ඡාව

කොටසක් කඩා දැමූ ගොඩනැගිල්ල පිළිබඳව ඉදිරිපත් වී ඇති සෙසු මත පිළිබඳව සිදු කළ නිරීක්ෂණ කීපයක් සාකච්ඡාව යටතේ සඳහන් කළ යුතුය. ඉහත සඳහන් කරන ලද පරිදි මේ ගොඩනැගිල්ල පිළිබඳව මත කීපයත් ඉදිරිපත්ව ඇත. මේ අතර (අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව, (ආ). කච්චේරි ගොඩනැගිල්ල, (ඇ). පැරණි උසාවි සංකීර්ණය හා (ඈ) මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක් යන අදහස් මූලික වේ.

(අ). බුවනෙකබාහු රජුගේ රාජසභාව – මේ ගොඩනැගිල්ල 13-14 සියවස්වලට අයත් කුරුණෑගල යුගයේ එකක් වීමට ඓතිහාසික සාධක නොමැති බවත් එය ජනප්‍රවාදයක් බවත් මේ වන විට ප්‍රකාශ වී ඇත. කුරුණෑගල මාලිගා භූමියෙන් හමු වී ඇති ශිලාමය අවශේෂ එකල තිබූ ගොඩනැගිලි කෙබඳු වුයේද යන්න පෙන්වා දෙයි. එසේම ගොඩනැගිල්ලක් නොතිබූ ස්ථානයක දැවමය නිර්මාණ පමණක් සියවස් හතක් පමණ කාලයක් ඉතිරි වී තිබීම ද අපහසුය. එසේම කඩා දැමුණු ගොඩනැගිල්ලේ ඇති දැව නිර්මාණ මහනුවර සම්ප්‍රදායේ මෝස්තර බව පැහැදිලිය.

(ආ). කච්චේරි ගොඩනැගිල්ල – මේ ගොඩනැගිල්ල කච්චේරි ගොඩනැගිල්ල බවට ද අදහසක් ඉදිරිපත් විය. ඒ සඳහා හේතු වී ඇත්තේ 1893 වර්ෂයේ දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවට එෆ්. මොඩර් විසින් රචනා කරන ලිපියක (12) එන තොරතුරු වරදවා වටහා ගැනීම බව පෙනේ. මොඩර් එහි ඇති ගොඩනැගිලි දෙකක් ගැන සඳහන් කරයි. ඒ ‘කච්චේරිය’ හා ‘මාලිගාව’ යනුවෙනි. දිසාපති තැනගේ කාර්යාලය වන කච්චේරියට කුරුණෑගල තිබූ යුද කඳවර තරම් ඉතිහාසයක් තිබිය හැකි බව ඔහු කියයි. එසේම 1848 වර්ෂයේදී කැරලිකරුවන් කච්චේරියේ පැවති සුරක්ෂිතාගාරය (Vault) කැඩීමට උත්සාහකරද්දී එල්ල වූ පොරෝ සලකුණු ගැන ද සඳහන් කරයි.

එහෙත් මේ සඳහන් කච්චේරිය පිහිටා ඇති ස්ථානය ඇත්තේ දඹුළු පාරෙන් බොහෝ ඈතට වන්නටය. එය වර්තමාන වත්හිමි පාරේ (අතීතයේ සර්කියුලර් පාර) තරමක් දුරින් පිහිටා ඇත. එම කච්චේරිය Kachcheri ලෙස 1878 හා 1907 දින දරණ සිතියම් දෙකක (5 හා 6 රූප) සඳහන් වන ගොඩනැගිල්ලය. 1903 වර්ෂයේ අඳින ලද එම කච්චේරියේ ඉදිරි පෙනුම දැක්වෙන චිත්‍රයක් 8 වන රූපයේ ද, එහි බිම් සැලසුම 9 වන රූපයේ ද දැක්වේ (13). එහි පෙර සඳහන් සුරක්ෂිතාගාරය Vault ලෙස සඳහන් වී ඇති ආකාරය උපුටා දක්වා ඇත. එසේම ගොඩනැගිල්ලේ කාමර සැලසුම අනුව කෙතරම් නිලධාරීන් පිරිසක් එහි සේවය කර තිබේද යන්න පෙනෙයි.

මෙම පැරණි කච්චේරිය පසුව දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර ඇති අතර, එම රතු පාටින් දක්වා ඇති යෝජිත නවීකරණයෙන් පසු ඉදිරි පෙනුම දැක්වෙන සැලසුමක් 10 රූපයේ දැක්වේ. ඒ අනුව වර්තමානයේ පළාත් සභා ගොඩනැගිල්ල අසල ඇති පැරණි ගොඩනැගිල්ල මේ කච්චේරියේ ඉතිරිව ඇති කොටස විය යුතුය.

එසේම මොඩර් මාලිගාව ලෙස සඳහන් කර ඇත්තේ දිසාපතිවරයාගේ නිල නිවසය. ඉංග්‍රීසි බසින් Residency හෝ Residence ලෙස සඳහන් වන දිසාපති නිල නිවසක් කුරුණෑගල දී මුලින්ම ඉදිකරන ලද්දේ 1819-22 අතර පමණ කාලයේ දී ය. (14), එහෙත් එය වෙනුවට පසුකලක වෙනත් ගොඩනැගිල්ලක් තනා ඇති බව අද පවත්නා ගොඩනැගිල්ලේ නිර්මාණ ලක්ෂණ අනුව පෙනෙයි.

(3). පැරණි උසාවි සංකීර්ණය – පැරණි උසාවි සංකීර්ණය පිහිටා තිබුණේ වර්තමාන සූරතිස්ස මාවත, කොළඹ පාර හා නුවර පාරෙන් සීමා වන පෙදෙසේ බව 1878 සිතියම අනුව ද පෙනෙයි. මෙහි පිහිටා ඇති එක් ගොඩනැගිල්ලක් 2009.07.10 දින පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

(4) මහනුවර යුගයේ ගොඩනගන ලද ගොඩනැගිල්ලක් – මේ අදහස ජනනය වන්නේ මේ කඩා දමන ලද ගොඩනැගිල්ලේ දැකිය හැකි උඩරට සම්ප්‍රදායට අනුව නිර්මාණය කරනු ලැබ ඇති කණු නිසාය. එහෙත් බ්‍රිතාන්‍ය යුගයේ 1880 දශකයේදී ඉදි කළ ජුබිලි අම්බලමේ තිබූ උඩරට සම්ප්‍රදායේ කණු පසුව ඉදිකරන ලද නගරශාලාවේ භාවිත කළ බවට පැහැදිලි සාධක ඉහත දක්වා තිබේ. එසේම පසුව 1903 පමණ කාලයේදී කුරුණෑගල නගරයේ තනන ලද ‘මුලාදෑනි නවාතැන’ (Headmen’s Lodge) හෙවත් ස්වදේශික අම්බලම (Native Ambalam) නම් ගොඩනැගිල්ල ද උඩරට සම්ප්‍රදායේ ගෘහනිර්මාණ ශිල්පය ඇතුළත් ගොඩනැගිල්ලක් විය. නගරයට පැමිණෙන රජයේ ස්වදේශික නිලධාරින්ගේ භාවිතය සඳහා ආටිගල මුහන්දිරම්ගේ ධන පරිත්‍යාගයෙන් (15), 1903-1904 කාලයේදී ඉදිකරන ලද (16) මේ අම්බලම කාමර දෙකකින්, ශාලාවකින් හා මුළුතැන්ගෙයකින් ද සමන්විත විය. (17) ඒ අනුව උඩරට සම්ප්‍රදායේ ගෘහ නිර්මාණ අංග තිබූ පමණින් යමක් උඩරට සම්ප්‍රදායට අයත් කිරීම කළ නොහැකිය. මේ සඳහා දැක්විය හැකි තවත් නිදසුනක් වන්නේ රුවන්වැල්ල බලකොටුව අසල පිහිටා ඇති 20වන සියවසේ මුල් භාගයේ ඉදිකරන ලද අම්බලමයි. බ්‍රිතාන්‍ය යුගයේදී ඉදි කළ එහි ද උඩරට සම්ප්‍රදායේ අංග දැකිය හැකිය. මෙවැනි තවත් ඉදිකිරීම් රටේ විවිධ පෙදෙස්වල ඇත.

ස්තුතිය – දිනිත් ඉන්දික හෑගොඩ, භූෂණ කල්හාර, එෂාන් ඉමල්ක විජයරත්න, ප්‍රසාද් ෆොන්සේකා, බන්දුල සිසිරකුමාර, මුදිත කරුණාමුනි, ලලිත් ගමගේ, ජයසිංහ බණ්ඩාර යන මහත්වරු හා ජාතික ලේඛනාගාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය

රූප පිළිබඳ විස්තර

1. කඩා දමන ලද ගොඩනැගිල්ල වසර කීපයකට පෙර පැවති ස්වභාවය (Google Street View ආශ්‍රයෙනි)

2. කඩා දමන ලද ගොඩනැගිල්ල හා වෙනත් ස්ථාන දැක්වෙන සිතියම (Google Map ආශ්‍රයෙනි)

3. අදාළ ස්ථානයේ 2006 හා 2020 වර්ෂවල Google Earth ඡායාරූප සංසන්දනයක්

4. 1878 වර්ෂයේ කුරුණෑගල නගරයේ කොටසක් දැක්වෙන සිතියමක් (මූලාශ්‍රය 1)

5. මෑතදී කඩා දමන ලද ගොඩනැගිල්ල පිහිටි ස්ථානය හා ඒ අවට පිහිටා තිබූ ගොඩනැගිලි දැක්වෙන 1903 වර්ෂයේ සිතියමක් (මූලාශ්‍රය 2)

6. කුරුණෑගල නගරයේ ජල සැපයුම සඳහා වූ සැලසුම් දැක්වෙන 1907 වර්ෂයේ සිතියමක් (මූලාශ්‍රය 11)

7. ඉඩම් රෙජිස්‍ට්‍රාර් කාර්යාලයට සාපේක්ෂව පැරණි නගර ශාලාවේ සාපේක්ෂ පිහිටීම හා එය වර්තමාන Google Earth ඡායාරූපයක් මත අතිපිහිත කළ විට දැක්වෙන ආකාරය

8. පැරණි කච්චේරියේ ඉදිරි පෙනුම දැක්වෙන 1903 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14)

9. පැරණි කච්චේරියේ බිම් සැලසුම දැක්වෙන 1903 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14)

10. පැරණි කච්චේරිය සඳහා යෝජනා කළ නවීකරණයෙන් පසු ඉදිරි පෙනුම දැක්වෙන 1904 වර්ෂයේ චිත්‍රයක් (මූලාශ්‍රය 14)

මූලාශ්‍රය

(1). සැසි වාර්තා අංක 12/1878 – Report of the Commission appointed to inquire into the Causes of the Bursting of the Bund of the Kurunegala Tank

(2). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(3). Administration Report of Kurunegala Local Board, 1893, පි. 10

(4). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1901.05.30 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(5). Administration Report of Kurunegala Local Board, 1893, පි. 10

(6). Administration Report of Kurunegala Local Board, 1894, පි. 9

(7). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1899.06.22 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(8). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(9). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1900.02.01 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(10). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(11). PF 2007 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(12). Modder, F. (1893), Kurunegala Vistaraya with notes on Kurunegala, ancient and moders, Journal of the Royal Asiatic Society o (Ceylon Branch), වෙළුම 13 (අංක 44), පිටු. 35-57

(13). PF 1238 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(14). Binham, P.M. (1921) History of the Public Works Department, Ceylon, 1796 to 1913, වෙළුම 1, පි. 36

(15). Administration Report of Kurunegala Local Board, 1899, පි. 14

(16). Administration Report of Government Agent, North-Western Province, 1904, පි. 8

(17). වයඹ පළාතේ දිසාපතිගේ දිනපොත් සටහන, 1901.05.30 (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

ධනේෂ් විසුම්පෙරුම

dhaneshw.blogspot.com

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස