බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදා අඩපණ කළ පාලකයන් මේ ප්‍රහාරයේ වගකීම භාරගත යුතුයි! ජනතාව කුමන්ත්‍රණකාරී උගුල්වලට හසු නොවී සාමකාමීව කටයුතු කරන්න! – විපක්ෂ නායක

April 21, 2019 at 6:38 pm | by admin

රටේ ඇතිවෙමින් පවතින අනාරක්‍ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය ඉටු කළ යුතු යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්ය.

කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාර මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කර රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්‍රතිවිපාක විදින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්වයකට රට යළි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නෙමු.

රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්වයෙන් රට මුදා මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කළ යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල්වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවටත් ශෝකය පළකිරීමට මෙය අවස්ථාවක් කරගනිමින්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ ශෝකය බෙදා ගන්නෙමු.

මේ කනගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවන්වලට හසු නොවන ලෙසත් සමස්ත ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස