බියර් හදන්න කමතට ම ගොස් රතු වී උස්සයි….! ජාවාරම නවත්වන්න නීති නැහැලු…!

February 21, 2021 at 7:49 am | by emanisa.lk

වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ බියර් නිෂ්පාදන සමාගමක් විසින් කුඹුරට ම ගොස් මිලයට ගැනීම ආරම්භ කර ඇතැයි පැමිණිල්ලක් වෙළෙඳ අමාත්‍යාංශයට සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබී ඇත.

මේ ආකාරයට රතු වී මිලට ගන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ය. කිලෝ 65ක වී මිටියක් සඳහා රු. 3250ක් ගෙවන බව වාර්තා වෙයි. ඒ අනුව වී කිලෝවක් රු. 50ක රජයේ පාලන මිලට ම මිල දී ගනියි. එහෙත් පෞද්ගලික අංශය වී මිටියක් සඳහා ලබා දෙන්නේ රු. 3000ක් බවත් වී කිලෝවක් මිලයට ගන්නේ රු. 46කට බවත් වාර්තා වෙයි.

පසුගිය සිකුරාදා මෙලෙස වී මිලයට ගැනීම සඳහා ලොරි රථ 60ක් පමණ ප්‍රදේශයට ගොස් තිබේ. මධ්‍යම පළාතේ සහල් මෝලකට වී මිල දී ගන්නා මුවාවෙන් තිරුක්කෝවිල්හි කමත්වලට ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පාරිභෝගික පනතට අනුව නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේය. සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වී සහ සහල් මිල දී ගැනීම පමණක් තහනම් කර ඇති බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳසල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ද ආරම්භ කර ඇත. ගත වූ සතිය තුළ වැටලීම් 400ක් සිදු කර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස