බැඳුම්ක හොරකම ගැන වෝහාරික වාර්තාව හැදුවේ අර්ජුන් මහේන්ද්‍රගේ යාළුවෝ!

January 29, 2020 at 1:08 pm | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සකස් කළේ එවක මහ බැංකු මූල්‍ය මණ්ඩලය තෝරාගත් තමන්ට හිතවත් ඉන්දීය ආයතනයක් මගින් බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙම අදහස් පල කළේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා බැඳුම්කර හොරෙක්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ බැඳුම්කර වංචාවක් සිදු වුණා, ඒ වංචාවේ හැටියට බලද්දී අපේ වංචාව එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේය කියන්නට අද එජාපයේ මන්ත්‍රිවරුන් පෙළඹී සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණද වෝහාරික වාර්තාව ගැන කතා කරමින් මේ මතයට හූමිටි තබනවා. ඒ නිසා මොකක්ද මේ වෝහාරික විගණන වාර්තාව කියන එක ගැන අප මුලින්ම අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිකුත් කළ බැඳුම්කර සම්බන්ධයෙන් 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා දහතුන් වසරක වෝහාරික විගණන වාර්තාව තමයි මේ තිබෙන්නේ. මේ වාර්තාවේ සඳහන් වෙනවා අතිශයින්ම රහසිගතයි කියලා. මෙය අතිශයින්ම රහසිගත වාර්තාවක් ලෙස සඳහන් කලත් එම වාර්තා උපුටා දක්වමින් බව පෙන්වමින් ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් සිදුකරන්නාවූ රඟපෑම හෙළිදරව් කිරීම සඳහා අපට මේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට සිදුවී තියෙනවා. අප හැබැයි දන්නවා එක්සත් ජාතික පක්ෂය බොරුවට උපන් පක්ෂයක්. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් බොරු දාහතක් කියලා ඒ17 අද අතේ පත්තුවෙලා. ඒ විතරක් නෙවෙයි කිඹුලන් දෙදෙනා අද ඇවිල්ල කියනවා මිලියන දෙකකට විනාඩි 15ක බොරු රඟපෑමක් තමයි කළේ කියලා. ඒ බොරු වර්ගයේම තවත් බොරුවක් තමයි මේ වෝහාරික විගණන නාඩගම.

මොකක්ද මෙහි සිද්ධවෙන්නේ. ඇත්තටම ඔය කියන කාලපරිච්ඡේදයේ වංචාවක් සිදු උනානම් ඇයි මුදල් තැරැව්කරුවන් ඒ සම්බන්ධයෙන් හඬක් නැඟුවේ නැත්තෙ. අර්ජුන් මහේන්ද්‍රන්ලගේ එක්සත් ජාතික පක්ෂයේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපට මුලින්ම තොරතුරු ගෙනාවේ මුදල් තැරැව්කරුවන්. ඔවුන්ගෙන් දැනගෙන තමයි අප තොරතුරු හොයාගෙන හඬ නැගුවේ. අප ආණ්ඩුව නිසා මේ ගැන හඬ නැගුවේ නැතැයි සිතමු. නමුත් ඇයි එක්සත් ජාතික පක්ෂය මේ ගැන හඬ නැගුවේ නැත්තේ. ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන හඬ නැඟුවේ නැත්තේ. ඇයි ආණ්ඩුවේ විගණකාධිපති විසින් සිදුකළ කිසිම විගණනයක මේ ගැන සඳහනක්වත් නැත්තෙ. එහෙම දෙයක් වෙලා නැති නිසයි. හදිසියේම මේ තමන්ගේ වංචාව වහගන්න වෝහාරික විගණන වාර්තාව මේ වන විට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හිරිකිත විදිහට පාවිච්චි කරමින් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බැඳුම්කර වංචාවක් සිදු කළ බව තහවුරු කරගන්න අපි පාවිච්චි කළේ විගණනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ලබාදී ඇති විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවයි. නමුත් මේ වාර්තාව හදන්නේ විගණකාධිපතිතුමා නෙවෙයි. බීඩීඕ කියන ඉන්දියානු විගණන ආයතනයක්. කවුද මේ විගණන ආයතනය තෝරා ගන්නේ. අපේ විගණකාධිපතිතුමා නොවෙයි. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයයි. මහා හොරෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කරපු පාලකයෝම පත්කරපු මූල්‍ය මණ්ඩලයක් තමයි මෙම සමාගමටත් මේක බාර දෙන්නේ. මේක හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නෙවෙයි. හොරාගෙන් පේන ඇසීමක්. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් දුන්නා යැයි අර්ජුන් මහේන්ද්‍රන් සඳහන් කරන ආකාරයට, මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාට යම් වංචාවක් කිරීමට අවශ්‍ය ආවරණය, උපදේශය, ලබා දුන්නා යැයි මේ වාර්තාවේ කොතැනවත් සඳහන් වෙලා නැහැ.

එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් තුන් දෙනෙක් 2015 ජනවාරි මාසයේ මහ බැංකුවට ගිහින් බැඳුම්කර වංචාව සිදු කරන්නට කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනාවක් කොමිසම හරහා හෙළි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙකුට බැඳුම්කර වංචාවක් කරන්නට කුමන්ත්‍රණය කළ බවට කිසිම චෝදනාවක් මෙම වෝහාරික විගණන වාර්තාවේ නැහැ. එය මා ඉතාම වගකීමෙන් සඳහන් කරනවා.

එහෙම නම් මොකක්ද මේකේ තියෙන්නේ. 2015 පෙබරවාරි මාසයේ අර්ජුන් මහේන්ද්‍රන් ඇවිල්ලා සිය වංචාවට අවශ්‍ය පසුබිම සාදා ගැනීම සඳහා තරඟකාරී ලංසු ක්‍රමය කියන එක හඳුන්වා දෙන තුරු දීර්ඝ කාලයක් එනම් 1990 දශකයේ මැද සිට දිගටම භාවිතා වුනේ සෘජු ලන්සු තැබීමේ ක්‍රමය යි. මේ වාර්තාවෙන් කියන්නේ ඒ සෘජු ලංසු තැබීමේ ක්‍රමයේදී එවකට වෙළඳ පොලේ පැවති පොලිය අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයකින් ලංසු බාර ගැනීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු වූ බවයි. වංචාවක් සිදු වූ බව කොතැනකවත් නෑ. කියලා තියෙන්නෙ පාඩුවක් සිදු වූ බවයි. විකල්ප ක්‍රම තිබියදී හැම ක්‍රමයකම වාසි සහ අවාසි තිබෙනවා. මේ ක්‍රමය යොදාගැනීමෙන් පාඩුවක් සිදුවුණා යැයි මෙම ව්‍යාහාරික විගණන වාර්තාව හදපු විගණන ආයතනය විසින් මතයක් පළ කරලා තියෙනවා. එම මතය අප පිළිගන්නේ නැහැ. මොකද ඔවුන් කියන්නේ වෙළඳපොලේ තිබුණු මිල වැඩිවුණා කියලයි. අපි දන්නවා ඕනෑම භාණ්ඩයකට ඉල්ලුම වැඩි උනහම මිල ඉහළ යනවා. මුදල් කියන භාණ්ඩයේ මිල තමයි පොලී අනුපාතය. අලුතෙන් මුදල්වලට ඉල්ලුමක් එනකොට පවතින පොලී අනුපාතය වැඩි වෙනවා. ඒක ස්වාභාවික තත්වයක්. පවතින වෙළඳපොලේ සැපයුම ගොඩක් වැඩි වුණොත් විතරයි ඉල්ලුම වැඩි වෙද්දි මිල ඉහළ යාමක් සිදු නොවන්නේ. මේවා සරල ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්ත. මේ වෝහාරික විගනන වාර්තාව නම් හදලා තියෙන්නේ විගණකවරුන් කිව්වට පසුගිය ආණ්ඩුව පත්කළ මූල්‍ය මණ්ඩලය විසින්. සිදු වෙලා තියෙන්නේ තමන් තෝරගත්ත පුද්ගලික ආයතනයක් ලවා මතයක් පල කරවීමක් පාඩුවක් සිද්ධ උනාය කියල. ඒ මතය අප පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ වාර්තාවේ කොතනකවත් වංචාවක් සිදු වූ බවට සඳහන් වන්නේ නැහැ. ඒ නිසා මේ වෝහාරික විගණන වාර්තා නාඩගම එක්සත් ජාතික පක්ෂ 2015 බලයට ඒමට ආරම්භ කරලා පසුගිය ජනාධිපතිවරණයේ දී තීවුර කරපු තමන්ගේ බොරු වල තවත් එක නාඩගමක් පමනයි කියන එක සඳහන් කරන්නට අවශ්‍යයි.

– අරවින්ද අතුකෝරල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස