බදියුදීන් හොර උපාධිකාරයෝ 38ටත් රජයේ රස්සා දීලා! උපාධිය සුදුසුකම වුණාට සමහරුන්ට සාපෙළත් නෑ!

February 16, 2020 at 6:59 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බඳවා ගත් විමර්ශන නිලධාරීන් 213 දෙනාගෙන් තිස් අට දෙනකුගේ උපාධි සහතික එම උපාධිය පිරිනැමූ ආයතනවලින් තහවුරු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පත්වීම් ලබා දී වසර එක හමාරකට පසු සිදු කළ විගණන පරීක්ෂණයක් සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. පත්වීම් ලබාදී ඇත්තේ 2018 ජනවාරි 15 වැනිදාය.

පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධි සහතිකයක් ඇති උපාධිධාරීන් 1386 දෙනකු විමර්ශන නිලධාරී තනතුර සඳහා අයැදුම් කර තිබුණි. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා, වාණිජ, කළමනාකරණ, අලෙවිකරණ උපාධි හිමි අය පමණක් විමර්ශන නිලධාරීන් ලෙස මීට පෙර බඳවා ගන්නා ලදී. නමුත් රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් පවා අඩු කර ඇත.

අයැදුම්කරුවන් 1386 දෙනාගෙන් සිංහල අයදුම්කරුවන් 750ක්ද, මුස්ලිම් අයැදුම්කරුවන් 198ක්ද දෙමළ අයැදුම්කරුවන් 45 ද සම්මුඛ පරීක්ෂණයට පැමිණ තිබේ. සම්මුඛ පරීක්ෂණයේදි සිංහල අයැදුම්කරුවන් 103ක්ද, මුස්ලිම් අයැදුම්කරුවන් 103ක්ද, දෙමළ අයදුම්කරුවන් 10 දෙනෙක්ද බඳවාගෙන ඇත.

තෝරාගත් අයැදුම්කරුවන්ගේ 193ක් වැඩ භාර ගෙන තිබුණි. ඔවුන් අතර විදේශීය උපාධිධාරීන්ද සිටි අතර ඇතැම් අය සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය ද අසමත් අයද වෙති.

වැඩිම අයැදුම්කරුවන් බඳවාගෙන තිබුණේ පුත්තලම, වවුනියාව, කොළඹ, ගම්පහ සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලිනි. නමුත් ජනගහනය අඩු අම්පාර, පුත්තලම, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රාජකාරියට බඳවාගෙන ඇති බව එම විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි. පාරිභෝගික කටයුතු අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෘත්තීය සමිතියක බලපෑම මත සම්මුඛ පරීක්ෂණයට නොපැමිණි 393 දෙනකුගෙන් ඇතැම් අයැදුම්කරුවන් පසුව මානව සම්පත් අංශය වරින් වර බඳවා ගත් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස