බඩට දෙවේලක් කාලා හරි කොවිඩ් රැල්ල පාලනය කර ගනිමු…! – ජගත් කුමාර…

September 11, 2021 at 10:08 pm | by emanisa.lk

මේ දුෂ්කර අවස්ථාවේ තුන් වේල වෙනුවට දෙවේලක් කමින් හෝ කැප කිරීම් කිරීමට ජනතාවට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

එලෙස කැප කිරීම් කරමින් මෙම කොවිඩ් රැල්ල පාලනය කරගතහොත් එය අනාගත පරපුර වෙනුවෙන් කරන කැප කිරීමක් වනු ඇතැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි. මේ වන විට ජනතාවට සහන ලබා දිය නොහැකි මට්ටමට ආණ්ඩුවේ මූල්‍ය ශක්තිය දුර්වල වී ඇති බවත් හෙතෙම කීය.

පසුගිය මාස 06ක කාලය තුළ ඩොලර් මිලියන 753.4 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වා ඇති බවත් සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් යටතේ එය ගැටලුවක් නොවුණ ද මෙවැනි අවස්ථාවක එය කිසිසේත් දරාගත නොහැකි නිසා ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ජගත් කුමාර පෙන්වා දෙයි.

මහ බැංකුව කොල්ල කා, පාස්කු ප්‍රහාරය එල්ල කරන්නට ඉඩ දී ආර්ථිකය කාබාසිනියා කළ විපක්ෂය ජනතාව එකතු වී ගෙදර යැව්වේ යට ඇඳුම ද නොමැතිව බවත් එහෙයින් ඔවුන් යට ඇඳුම් ගැන කතා කිරීමෙන් පලක් නැති බවත් මන්ත්‍රීවරයා පවසයි.

ලෝකයට ඇඳුම් සපයන ලංකාවට ප්‍රමාණවක් ඇඳුම් රට තුළ නිෂ්පාදනය කරගත හැකි බවත් වසරකට සෑහෙන භාණ්ඩ දැනටමත් රටට ගෙන්වා ඇති බවත් ජගත් කුමාර වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස