පෞද්ගලික දුරකතන සංවාද ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශනය වන්නේ සදාචාර පරිහානිය නිසායි! – කතානායක

January 13, 2020 at 10:09 pm | by emanisalk

මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරීමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය පවසයි.

නවීන තාක්ෂණය රටක සුභසිද්ධිය සඳහා ඉවහල් වන නමුත් තාක්ෂණයට වහල් වීම නිසා සමාජය විකෘති ස්වාභාවයක් කරා ගමන් කිරිම වර්තමානයේදී දක්නට ඇති බවද කථානායකවරයා සඳහන් කළේය.

කථානායක කරු ජයසුරිය මෙම අදහස් පළ කළේ නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් පුජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමිපාණන් වහන්සේට අක්ථපත්‍ර ප්‍රදානය කිරිම නිමිත්තෙන් පදවි ශ්‍රීපුර, අලිවංගුව බෝධිරුක්ඛාරාම රාජ මහා විහාරස්ථානයේදී පැවති පුණ්‍යෝත්සවයේ ප්‍රධාන ආරාධිතා ලෙස සහභාගී වෙමිනි.

ජංගම දුරකථනය මෙන්ම නුතන සන්නිවේදන මාධ්‍ය බොහෝමයක් විසින් පවුල් සබඳතා , දෙමාපිය – දූදරු සබඳතා බිඳ දමා ඇති බවත් ජංගම දුරකථනය බිහි කළ රටවලට වඩා එම තාක්ෂණය ආනයනය කර භාවිතයට ගත් අප වැනි රටවල් එතුළින් අධ්‍යාත්මික පරිහානියක් කරා ගමන් කර ඇති බවද කරු ජයසුරිය සඳහන් කළේය.

දුරකථන සංවාද ඇතුළු සමාජගත නොවිය යුතු පෞද්ගලික තොරතුරු රසමසවුළු සේ තලු මරමින් සමාජගත කළ හැකි නමුත් කලක් යන විට මෙම සිදුවීම් දෙස ආපසු හැරී බලන කළ අප යුගයේ සිදු වු සදාචාර පරිහානිය ගැන විශාල පසුතැවීමක් ඇති වනු ඇතැ’යි ද හෙතෙම පැවසීය. කෙසේ වෙතත් හෙළිදරව් වී ඇති නීති විරෝධී යමක් වේ නම් ඊට ‍එරෙහිව වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව බැහැර කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

අනාගත පරපුර වෙනුවෙන් මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියලු වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවද එහිදී මහා සංඝරත්නයේ, ගමේ පන්සලේ මඟ පෙන්වීම අත්‍යාවශ්‍ය වනු ඇති බවද පැවසු කථානායකවරයා සඳහන් කළේ ලෝකයේ ථේරවාදී බුදු දහම පවතින ප්‍රධානතම මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකාවෙන් ලෝකයට ලබාදිය යුත්තේ ධර්ම දානය බවයි.

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ මඟ පෙන්වීම ලද මිල්ලෑවේ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ස්වකීය ආගමික සේවා‍ව සඳහා හැමවිටම අනලස්ව දුෂ්කර මාර්ග තෝරාගත් බවද සඳහන් කළ කරු ජයසුරිය ගමත් පන්සලත් අතර ඇති වු දුරස්ථභාවය පිළිබඳව මෙලෙස අදහස් පල කළේය.

“අද නගරයේ විශාල විහාරස්ථානවල ජනතාව තුළ තිබෙන බැඳීමට වඩා විශාල ගෞරවනීය බැදීමක් මේ ගම්වල ජනතාව පන්සලත් සමග තියෙනවා. පන්සලත් ගමත් අතර තිබෙන බැදීම ශ්‍රී ලංකීය සංසකෘතියේ අපරිහානීය ලක්ෂණයයි.

ගමින් පන්සලට, එහි වැඩ වසන භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන සිද්ධ වෙනවා. මුළු ගමම හතර පේරුවේ දායක දායිකාවන් ලෙස පන්සලට ආවා. නැඹුලේ වත්තේ ගහක හැදෙන ගෙඩිය ගෙනත් පන්සලට පූජා කළා. දරුවන් ලොකු මහත් වුනේ ගමේ පන්සලේ දහම් පාසලේ ඇසුර ලබමින්.

පන්සලෙන් ගමට ලැබුනේ මොනවාද? ආගමික ශික්ෂණය විතරක් නෙමේ. සමස්ථ සංස්කෘතිය ජාතික චින්තනය පෝෂණය කරන මධ්‍යස්ථානය බවට පන්සල පත්වුණා. අධ්‍යාපන මධ්‍යස්ථානය වුණේ පන්සල. සිංහල වෙදකම, නක්ෂත්‍රය, සිංහල භාෂාව, කවිය පෝෂණය කළේ පන්සලයි. පන්සල මැදිහත් වෙලා ගමේ විනය හැදුවා. ජාතික සටනට පණ පෙව්වේ පන්සලයි. පස්සේ කාලයේ වාණිජකරණය වූ නාගරීකරණය වූ සමාජයේ පන්සලෙන් ගම ඈත් වුනා.

දහම් පාසලෙන් ඈත් වූ දරුවෝ ටියුෂන් පන්තියට සමීප වුනා. ඒ සමගම සමාජයේ සාරධර්ම පිරිහුණා. අධ්‍යාපනයේ තරඟයක් පවතිනවා. එයට මුහුණ දීමට අවශ්‍යයි.එම තරඟය ජය ගැනීමෙන් පමණක් සම්පූර්ණ මිනිසෙක් බිහි වන්නේ නැහැ. ආගම දහමින් තමයි විනයක් සහිත දරා ගැනීමේ ශක්තියක් තියෙන ඉවසීම, කෘතවේදීත්වය, පරාර්ථකාමිත්වය තිබෙන මිනිසුන් බිහි කරන්නේ. එය තමයි සමබර පෞරුෂය. පන්සලෙන් දහම් පාසලෙන් ඈත් වුණාම බිහි වෙන්නේ ඒ සමබර පෞරුෂය නැති මිනිසුන් සහ ගැහැණුන්. එම අසමබරතාවය මුළු සමාජය ම අවුල් කරන බව අද අපට පැහැදිලි වෙලා තිබෙනවා.”

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස