පොළොන්නරුවේ විතරක් වී කිලෝ කෝටි 20ක් තියෙනවා! තොග හංගලා හිඟයක් මවන්නේ හාල් මාෆියාකාරයෝ! – රොෂාන්

May 22, 2020 at 12:16 pm | by emanisa.lk

යල කන්නයේ වීඅස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රට තුළ තිබෙන බවත් එම නිසා රටින් සහල් ගෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා අද(21) ප‍්‍රකාශ කළේය.

රජයේ බුද්ධි අංශ සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මගින් තොරතුරු එක්රැස් කර තිබෙන බවකී ඒ මහතා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් වී කිලෝ කෝටි 19ක් 20ක් ඇතැයි කීය.

රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියේ අද(21) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

කෘතිම සහල් හිඟයක් මවාපාලා මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක් යැයිද මෙය වී මාෆියාකාරයින් හැමදාම දාන සෙල්ලමක් බවද ඒ මහතා කීය. ජනතාවගේ  ඕනෑම දුකක් මැදින් තමන්ගේ බඩගෝස්තරය ගැන සිතන්නට එපා කියා තමන් මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම එහිදී පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය. වීවලට සහතික මිලක් රජය නියම කරලා තියෙන්නේ ගොවියා සරුක්‍ෂිත කරන්නයි. පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා සහල් වලට පාලන මිලක් නියම කර තිබෙනවා. අද පෞද්ගලික අංශයේ වී මිල රුපියල් 50 නොවෙයි 55යි. රුපියල් 55ට වී ගන්නේ රුපියල් 90ට සහල් දෙන්න පුළුවන් නිසයි.

ඇතැම් සහල් මෝල් හිමියන් කෘතිම සහල් හිඟයක් මවාපාන්න කටයුතු කරනවා. මෝල් හිමියන් වැඩි මිලට තොගමිල තීරණය කර තිබෙනවා නම් වෙළෙඳුන් ඒ ගැන පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළ යුතුයි. මේ වෙලාවේ පාරිභෝගික ජනතාවගේ බඩට ගැසීම අපරාධයක්. මහා පරිමාණ මෝල් හිමියන් සඟවාගෙන තිබෙන වී තොග කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලබාදීමට රජය පසුබට වෙන්නේන නෑ. මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය බත්.මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. මෝල් කාරයින්ව, මාෆියාකරුවන් රැුකීමට රජයට අවශ්‍යතාවයක් නෑ.

මේ වෙලාවේ සහල් ආනයනය කරන්න කිසිම අවශතාවක් නෑ. යල කන්නයේ වී අස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රටේ තිබෙනවා.කිහිප දෙනෙක් පමණයි රුපියල් 90ට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන්නේ. මේක වී මාෆියා කාරයින් හැමදාම දාන සෙල්ලමක්. පසුගිය යහපාලන රජය වී මාෆියා කරුවන්ට නීත්‍යානුකූල බලපත‍්‍රයක් දුන්නා.රජයේ වී ඔවුන්ට එදා දුන්නේ රුපියල් 24ට. මාෆියාකරුවන් තුරන් කරන වැඩ පිළිවෙළට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පියවර ගෙන තිබෙනවා.

Lankadeepa

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස