පොහොර හිඟයක් ඇති වන්න ඉඩ දෙන්නේ නෑ…! දේශීය කොම්පෝස්ට් මදි වුණොත් ඉන්දියාවෙන් ගේනවා….!

May 9, 2021 at 11:06 am | by emanisa.lk

රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟ රට තුළ කිසියම් පොහොර හිඟයක් ඇති වුවහොත් අවශ්‍ය කරන අතිරේක කොම්පෝස්ට් පොහොර තොග ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

දැනටමත් රජය මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඒ ගැන මූලික තොරතුරු විමසා ඇති අතර එරට කොම්පෝස්ට් නිෂ්පාදකයන් සහ ඔවුන්ගේ නිෂ්පාදන, අපනයන, ධාරිතාව ඇතුළු අදාළ තොරතුරු අද හෙට ම මුදල් අමාත්‍යංශයට සැපයෙනු ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

රසායනික පොහොර තහනමත් සමඟ රටට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ගොවි ජනතාවට ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබිණි. එහෙත් රජයේ සහ රටේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්නේ මෙම තහනම එකවර ක්‍රියාත්මක නොකර පියවරෙන් පියවර ක්‍රියාවට නැංවිය යුතු බවයි.

මෙරට වාර්ෂික පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් වන අතර රසායනික පොහොර ආනයනය සඳහා රජය වසරකට රුපියල් බිලියන 60ක් (කෝටි 6000ක්) පමණ වැය කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *