පොහොර සමාගම් තොග හංගා කෘත්‍රිම පොහොර හිඟයක් හදල…! රට පුරා ගොවීන් පාරට බැස්සූ හැටි හෙළිවෙයි….!

July 15, 2021 at 8:17 am | by emanisa.lk

පෞද්ගලික පොහොර සමාගම්වලට අයත් පෑලියගොඩ හා කැලණිය ප‍්‍රදේශවල ප‍්‍රධාන පොහොර ගබඩා ඊයේ (14) හදිසි සෝදිසියකට ලක් කළ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂට ඒවායේ විශාල ලෙස පොහොර තොග ගබඩා කර තිබී සොයා ගැනීමට හැකි වී ඇත.

මෙරටට ගෙන්වන ලද පොහොරවලට කුමක් සිදුවීදැයි සොයා බැලීමට විෂයභාර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා මෙම හදිසි සෝදිසිය සිදුකර ඇත.

විවිධ කරුණු දක්වමින් දිවයින පුරා පොහොර බෙදා හැරීමේ කටයුතු තව දුරටත් ප‍්‍රමාද කළහොත් එම සමාගම්වලට විරුද්ධව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරු සමාගම් වෙත මෙම අවස්ථාවේදී දැනුම් දුන්හ.

මෙම පොහොර සමාගම් පොරොන්දු වූ පරිදි දෛනිකව නිකුත් කළ හැකි පොහොර ප‍්‍රමාණය නිකුත් නොකර අඩු වශයෙන් පොහොර නිකුත් කර ඇති බව මෙහිදී හෙළිවී ඇත. නිසි ලෙස පොහොර බෙදා නොහරින්නේ නම් රාජ්‍ය පොහොර සමාගම මගින් එම පොහොර තොග ගොවීන්ට බෙදාහැරීමට පියවර ගන්නා බවට තරයේ අවවාද කර තිබේ.

ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පොහොර මෙට්‍රික් ටොන් 600ක් නිකුත් කිරීමට හැකියාව තිබියදී මෙට්‍රික් ටොන් 300 ක් වැනි අඩු ප‍්‍රමාණයක් නිකුත් කර ඇති බව හෙළිවීමෙන් පසු ඇමැතිවරයා ඒ පිළිබඳව නිලධාරීන්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කර ඇත.

දිනකට පොහොර මෙට්‍රික් ටොන් 1000ක් පමණ නිකුත් කිරීමට මෙම පෞද්ගලික පොහොර සමාගම් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී එකඟ වී ඇතත් දින ගණනක් ගතවීත් එම පොහොර ප‍්‍රමාණය නිකුත් කර නොමැති බව මෙම සෝදිසියේදී අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *