පොහොර බෙදන්නෙත් හමුදාපති නම් ඇමැතිල නඩත්තු කරන්නේ ඇයි..?

December 9, 2021 at 4:06 pm | by emanisa.lk

පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙන්නට නම් රටට කෘෂිකර්ම අමාත්‍යවරයෙකු හෝ පොහොර ඇමතිවරයෙකු කුමකට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

පොහොර බෙදා ගන්නට බැරි ආණ්ඩුව එය හමුදාපතිවරයාට භාර දෙනවා නම් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ඇමතිවරු නඩත්තු වීම මොන තරම් අපරාධයක්දැයි විපක්ෂ නායකවරයා විමසයි,

ජනාධිපතිවරයා මෙමගින් ලබා දී ඇති සංඥාව වන්නේ තමන්ගේ කෘෂිකර්ම අමාත්‍යවරයාත්, පොහොර අමාත්‍යවරයාත්, සියලු නිලධාරිනුත් අසාර්ථක බව යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති නමුත් තමන්ට රාජ්‍ය නිලධාරීන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස, කළ යුතු වන්නේ මනා කළමනාකාරීත්වයකින් ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීම බව ද පැවසීය.

කෘෂිකර්මාන්තය අරබයා ආණ්ඩුව විසින් ගනු ලබන මේ අදූරදර්ශි අන්තනෝමතික ක්‍රියා මාර්ග හේතුකොටගෙන ඉතා ම ඉක්මනින් රටට සාගතයක් උදාවීම වළක්වන්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ද විපක්ෂ නායක පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන හරහා බූන්දල ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී චන්ද්‍රාලෝක දහම් පාසැලේ සිසුදරු දැරියන්ගේ ප්‍රයෝජනය උදෙසා ලක්ෂ විසිපහක වියදමක් දරා ඉදිකරවූ දහම් පාසැල් ගොඩනැගිල්ල  විවෘත කිරීමේ අවස්ථාවට අද (09) එකතු වෙමින් මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස