පොහොර ජීවානුහරණය කර නෑ… සාම්පලවල ක්ෂුද්‍ර ජීවීන්….! චීන කාබනික පොහොර නුසුදුසු බව යළි තහවුරුයි..!

September 29, 2021 at 9:56 am | by emanisa.lk

වී වගාවට යෙදීමට චීනයෙන් ආනයනය කිරීමට නියමිත නයිට්‍රිජන් අඩංගු කාබනික පොහොර සාම්පල වී වගා කටයුතුවලට නුසුදුසු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවය මගින් ඊයේ (28) දෙවැනි වරටත් කළ පරීක්ෂාවේ දී තහවුරු වී ඇත.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත නයිට්‍රිජන් අඩංගු කාබනික පොහොර සාම්පල දෙවැනි වරටත් ඉකුත් බ්‍රහස්පතින්දා (23) අදාළ චීන සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවයට ලබා දෙන ලදී.

ඒ අනුව, එම සාම්පල පිළිබඳ වාර්තාව සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී ජාතික ශාක නිරෝධායන සේවයේ අධ්‍යක්ෂ ආචාර්ය එම්. වික්‍රමආරච්චි විසින් ඊයේ (28) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අනාවරණය කළේය.

අදාළ පොහොර සාම්පල පිළිබඳව කරන ලද පරීක්ෂාවට අනුව ඒවා ජීවානුහරණය කර නොමැති බවත්, ක්ෂුද්‍ර ජීවීන් සිටින බවත් අනාවරණය වී ඇත. සාම්පල පරීක්ෂාවට අනුව එම පොහොර තොග මෙරටට ආනයනය කිරීමේ තත්ත්වයක නොමැති බවත්, ඒ නිසා එම පොහොර ආනයනය නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේය.

1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතට අනුකූලව ව්‍යාධිජනකයින් සිටින පොහොර ඇතුළු දෑ රටට ගෙන ඒම සපුරා තහනම්ය.

ජීවානුහරණය කරන ලද පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටිය නොහැකි බවත්,මෙම පර්‌යේෂණයේදී අදාළ සාම්පල ජීවානුහරණය කර නොමැති බව තහවුරුවී තිබෙන බවත්, ජීවානුහරණය නොකරන ලද පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මහ කන්නයේ වී වගාව ලංකාව පුරා එකවර ආරම්භ නොවන බැවින්, ඉන්දියාව වැනි ලංකාවට ආසන්න රටවලින් පොහොර ඉක්මනින් ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවත්, ඒ ඒ වෙලාවට අවශ්‍ය පරිදි පොහොර ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත්ද ඔහු කීවේය.

මහ කන්නයේ වී වගාව ගැටලුවකින් තොරව කරගෙන යෑමේ හැකියාව පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස