පොහොර කොම්පැනිවල මාධ්‍ය මෙහෙයුම්වලට හසු වෙන්න එපා…..! වස ගොවිතැනින් වසරකට ජීවිත 5000ක් අහිමි වෙනවා…! – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය…

July 10, 2021 at 5:05 pm | by emanisa.lk

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.

හරිත විප්ලවයෙන් බිඳුණු සිල් පදය

අප මහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගොවිතැන, කෘෂිකර්මාන්තය යහපත් කර්මාන්තයක් වශයෙන් පෙන්වා දී ඇත. බෞදධ ආර්ථික දර්ශනයට අනුව දිවි සරිකර ගැනිමට, වෘත්තීයක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේ දී ඒය ධාර්මිකව කළ හැකි විය යුතු යන්න නිර්නායකය විය. තමාට මෙන්ම අන් අයට ද හානියක් නොවන පරිදි ධනය උපයන වෘත්තියක, රැකියාවක, ව්‍යාපාරයක නිරත විය යුතුය.

ව්‍යග්ගපජ්ජ සුත්‍රයේ බුදුරදුන් විසින් ගිහියන් සඳහා අනුමත් රැකියා කිහිපයක් පෙන්වා දී ඇත. ඒ්වා නම්,
• කෘෂිකර්මය
• වෙළදාම
• පශූ පාලනය
• ධනු ශිල්පය
• රාජ්‍ය සේවය ‍
• ශිල්ප කලා

ඒ අනුව බුදුරජාණන් වහන්සේ කෘෂිකර්මාන්තය යහපත් වෘත්තියක් ලෙස පෙන්වා දී ඇත.

කෘෂිකර්මාන්තය යනු වෘත්තියක් පමණක්ම නොවේ. කෘෂිකර්මාන්තය යනු හුදෙක් ජිවිකාව සරිකොට ගැනිමට ඇති රැකියා අවස්ථාවක්ම පමණක් නොවේ. බෞද්ධයාගේ අවසන් අරමුණ වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පාරමි දම් පිරීමට අවස්ථාව සලසා දෙන්නකි.

පාරමි පුරා ගත හැකි යහපත් කර්මාන්තයක් වන්නේ කෙසේද?

කෘෂි කර්මාන්තය පාරමිදම් පිරිය හැකි කර්මාන්තයක් වන්නේ කෙලෙස දැයි ඔබ සිතනවා ඇත. අතීත කෘෂි කර්මාන්තය ප්‍රාණ ඝාතයෙන් තොරවිය. එනම් බෞද්ධයාගේ මුලික ශීලය වන පංච ශීලයේ පළමුවැනි සිල්පදය ආරක්ෂා විය. ‍ එපමණක් නොව දාන පාරමිතාව පුරුදු පුහුණු කිරීමට කෘෂිකර්මාන්තය තුළින් අවකාශ සැලසිනි. එය පහත කරුණු ඔස්සේ පෙන්නවා දිය හැකිය.

ඵලදාවේ අග්‍ර කොටස බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට
අපේ ගොවිමහතුන් විසින් තමන් ලබා ගන්නා ඵලදාවේ මුල්ම කොටස, අග්‍ර කොටස බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පුජා කරන ලදි. බෞද්ධයාගේ අවසන් අරමුණ කරා යාමට අවශ්‍ය දාන පාරමිතාවන් පිරීමට අවස්ථාවක් විය.

කුරුලු පාලුව
කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවිමහතුන් තමන්ගේ ඵලදාව නෙලීමේදි ඉන් කොටසක් පරිසරයේ වෙසෙන අනෙක් සතුන්ගේ පරිභෝජනය සඳහා වෙන් කොට තබයි. එය කුරුලු පාලුව නමින් හැදින්වේ. එලෙස තමන්ගේ ඵලදාවෙන් කොටසක් අනෙක් සතුන්ට වෙන් කිරීමෙන් පැරණි ගොවියා දාන පාරමිතාව පිරිය. එපමණක් නොව මෛත්‍රියද පතුරුවන ලදි.

ප්‍රාණඝාතයෙන් යුතු කෘෂිකර්මාන්තය ඇති වීම
නමුත් 60 දශකයෙන් පසු ප්‍රාණඝාතයෙන් යුතු කෘෂිකර්මාන්තය ශ්‍රී ලාංකීය ගොවියා මත බලයෙන් පටවන ලදි. ඒ නිසාවෙන් ඔවුන් ගැටලු රාශියකට මුහුණ දෙන ලදි.

ප්‍රාණඝාතයෙන් යුතු කෘෂිකර්මාන්තයට යොමු වීම නිසා ඇති වු බලපෑම

• ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධ වීමට සිදු වීම
හරිත විප්ලවය ඔස්සේ රසායනික ගොවිතැනට යොමු වීම නිසා ශ්‍රී ලාංකීය ගොවියාට තමන්ගේ මූලික ශීලය වන පංචශීලයේ පළමු වැනි ක්ෂාපදය රැකීමට නොහැකි විය. ඔහු ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධ විය. ස්භාවික පරිසරය තුළ දක්නට ලැබෙන කෘමි සතුන් නොමරා කළමනාකරණය කරගත් ගොවියා කෘමිනාශක යොදමින් විනාශ කිරීමට පෙළඹුනි.

• විවිධ රෝගබාධායන්ගේ ගොදුරක් බවට පත් වීම
ස්භාවික පරිසරයේ තිබෙන වල් පැළැටි, වගාවේදි පොහොරක් ලෙස භාවිත කිරීම අතීත ගොවියා ප්‍රඥාවන්ත විය. නමුත් වර්තමානයේ දි වල් නැසිමට යැයි කියමින් ද රසායනික යොදනු ලැබේ. ඵලදාව වැඩි කර ගැනිමට යැයි කියමින්ද රසායනිකයන් භාවිත කරයි. විවිධ හේතු දක්වමින් භාවිත කරන වස විස නිසාවෙන් ගොවිමහතුන් රෝගාබාධ වලට ගොදුරු වී ඇති අතර වැඩි වශයෙන් වකුගඩු රෝගීන් බවට පත් විය.

• විදේශයන් මත යැපෙන්නෙක් බවට පරිවර්තනය විය
තව ද පැරණි ගොවියා තමන් විසින්ම බීජ වී සකසා ගන්නා ලදි. නමුත් කෘෂිකර්මාන්තයේ ඇති වු වෙනස නිසාවෙන් ලාංකීය ගොවියා පිටස්තරයන්ගෙන් යැපෙන්නක් බවට පත්ව බීජ වී පවා ලැබෙනකම් බලා සිටිනු දැකිය හැකිය. පොහොර ලබා ගැනිමේ දී ද විදේශියයන්ගෙන් යැපෙන්නක් බවට පත්ව ඇත. මෙලෙස සාමාජීය, ආර්ථික, කායික, මනසික පමණක් නොව අධ්‍යාත්මිකවද පිරිහීම නිසා අපගේ අභිමානවත් ගොවියා අද වන විට ඉතා අන්ත අසරණභාවයට පත්ව ඇත.

90 දශකයේ දී පළමු රෝගියා හඳුනා ගැනිමෙන් පසු 2000 වර්ෂය වන විට රෝගීන් සංඛ්‍යාව 2% ක් ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. 2004 වර්ෂයේ දී 4% ක් ලෙස ද, 2008 වර්ෂයේ දී 8% ක්ද වශයෙන් දෙගුණ වෙමින් ගොස් ඇත. වෛද්‍යවරුන් ලෙස 2012 වර්ෂයේ දි අප වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදු කළ සටන නිසා සිදු වන්නට ගිය මහ ව්‍යසනයක් යම්තාක් දුරකට වැළකිණි.

ගොවි පවුල් යලි නගා සිටුවමු
2015 අවුරුද්දේ විමලවංශ අධ්‍යනයේ දත්ත අනුව 2015 වර්ෂයට ආසන්න වර්ෂවල දී වර්ෂයකට පුද්ගලයන් 5000 ක් මිය යන බව පෙන්වා දී ඇත. තව ද එහි දී ඒ් අවධිය වන විට 150 000ට වඩා වැඩි වකුගඩු රෝගීන් ප්‍රමාණයක්ද හඳුනා ගෙන ඇති බව ඒම අධ්‍යයනයන්හි පෙන්වා දී ඇත.

පවුලේ ගෘහමුලිකයා රෝගී වී මිය යාම සමස්ත පවුල ම අසරණ තත්ත්වයකට යොමු කරනවා. ඒ නිසා අ ඒ අය තවත් අසරණ තත්ත්වය පත් නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. මුලික වශයෙන් ප්‍රාණ ඝාතයෙන් හා රසායනිකයන්ගෙන් තොර කෘෂිකර්මාන්තයට ඔවුන් යොමු කළ යුතුයි. වර්තමාන ජනාධිපතිවරයා ඒ සඳහා ගත් සාධනීය පියවරක් ලෙස කෘෂි රසායනයන් තහනම් කරමින් ඉදිරිපත් කල ගැසට් පත්‍රයද පෙන්වා දිය හැකිය.

වසරකට 5000 ක් මිව යාම සම්බන්ධයෙන් නිසි අවධානය යොමු විය යුතුයි.
කො‌රෝනා වසංගතය නිසා වර්ෂයකට 400ක් මිය යාම පිළිබදව දැඩි අවදානයක් අප යොමු කරනවා. නමුත් වකුගඩු රෝගය නිසා වර්ෂයකට 5000ක් මිය යන බව අප අමතක කර තිබෙනවා.

සිල්වත් සමාජය නැවත බිහි කර ගනිමු…..
අතීතයේ සතර පොහොයට සිල් ගත් ගොවි පවුල නැවත බිහි කර ගත යුතුයි. ඒ සදහා පන්සල මුල් විය යුතුය. කෘෂි රසායන තහනම් කරමින් රජය විසින් ගත් තීන්දුවට ජනමාධ්‍ය හෝ වෙනත් අය නිසාවෙන් ගොවි මහතුන් විරුද්ධ නොවිය යුතුයි. තමන්ගේ ප්‍රාණය නසන පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන තරමට අපගේ ගොවි මහතුන්‌ගේ ප්‍රඥාව පිරිහී තිබේද? වාර්ෂිකව 5000 කට ආසන්න ප්‍රමාණයක් මිය යන අතර 30000 ක් වු පිරිසක් මරණය පෙනි පෙනි සිටිනවා. තත්ත්වය මෙතරම් බරපතල වී තිබියදි මෙලෙස රසායනිකයන්ගේ භයානක බව පෙන්වා දී ඒ්වා භාවිතය තහනම් කිරීම පිළිගත යුතුව තිබියදිත් බෞද්ධ ජනතාව මෙයට විරුද්ධ පොහොර නැතැයි විරෝධතා දක්වන තත්ත්වයකට පත් වී ඇත.

ඒ නිසා මෙම ලිපිය කියවන සෑම අයෙක්ම බෞද්ධ සියලු දෙනාම ප්‍රාණඝාත අකුසලයෙන් රට මුදවා ගෙන සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ට වැඩිය හැකි පරිදි නැවත කුසල් පිරුණු දේශයක් බවට පත් කර ගැනිමට උනන්දු විය යුතුයි. කෘෂි රසායනිකයන් භාවිතය තහනම් කිරීම සම්බන්ධ වු තීරණයට පක්ෂව දක්වන ප්‍රතිචාරය පිළිබද සැහිමකට පත් විය නොහැක.

බිලියන 250 ක් පමණ වස විස මේ පොළොවට හෙළමින් වගාවන් කරන ගොවියාටත්, ඒ්වා ආහාරයට ගන්නා අපවත්, පරිසරයේ සිටින ක්ෂුද්‍ර ජිවින් ඇතුළු සත්ව ප්‍රජාවනුත් අවම වශයනේ අහසේ වෙසෙන කුරුල්ලා පවා මරා දමනු යුගය අවසන් කොට අතීතයේ අප හිමි කරගෙන හිටි වක්කඩෙන් වතුර බිව් සමෘධිමත් යුගය නැවත අත්පත් කර ගත යුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස