පොහොට්ටුව හැදූ අභයාරාමයේ විපක්ෂය කඳවුරු බඳී…! සජිත් මෛත්‍රී කරූ සුමන්දිරන් ඇතුළු යහපාලන බලවේගය මුරුත්තෙට්ටුවේ හිමි සමඟ මාධ්‍ය හමුවක…!

October 6, 2021 at 11:43 pm | by emanisa.lk

ගුරු – විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා ගුරු – විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුවේ සංවිධානයෙන් නාරාහේන්පිට අභයාරාමයේදී අද (6) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

එම සමුළුවට සහභාගී වූ ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ ගුරු අරගලයට සහාය පළ කළහ.

මෙම සමුළුවට සමඟි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගි වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ සහ විජේදාස රාජපක්‍ෂ, සමඟි ජනබලවේයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු කථා නායක, සාධාරණ සමාජයක් සංවිධානයේ සභාපති කරූ ජයසූරිය, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික හෙළ උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නීතිඥා ගුණරත්න වන්නිනායක මහත්වරු සහභාගි වූහ.

ගුරු – විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුව නියෝජනය කරන ගුරු සංගම් 13 ක් නියෝජනය කරමින් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙම සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වූ සියලුම දේශපාලඥායින් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් පැවසුවේ ගුරු – විදුහල්පති වැටුප් අරගලයට සහයෝගය දක්වන බවත්ය.

එහිදී අදහස් දැක්වූ ගුරු සංගම් නියෝජිතයන් පැවසුවේ ගුරුවරායට සහ විදුහල්පතිවරයාට නිසිතැන ලබාදෙන ලෙසත් ‘සුබෝධනී’ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බවත්ය.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නායකහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සර්ව පාක්‍ෂික සමුළුව ගුරු – විදුහල් වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ සංවිධානය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *