පොහොට්ටුව මාස අටෙන් අපි දියුණු කළ රට බංකොලොත් කළා! – රනිල්

July 11, 2020 at 1:28 pm | by emanisa.lk

ආණ්ඩුව විදුලි ඒකක 90 දක්වා සහන සැලසීමට ගෙන ඇති පියවර කිසිසේත් ප‍්‍රමාණවත් නැති බවත්, අවම වශයෙන් ඒකක සියයත් එකසිය පනහත් (100 -150) අතර සහනයක් ජනතාවට ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි.

රනිල් වික‍්‍රමසිංහ මෙම අදහස් පළ කළේ පෙරේදා (09) මහර මැතිවරණ කොට්ඨාසයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

පසුගිය මාස කීපයේ එකතු වී තිබෙන විදුලි බිලට අපේ ආණ්ඩුවක් යටතේ සහනයක් ලබාදෙන බව මා ප‍්‍රකාශ කළා. මම ඒ ප‍්‍රකාශය කළාට පසු විදුලි බිලට සහනයක් දෙන බව ආණ්ඩුව ප‍්‍රකාශ කර තිබෙනවා. බලයට පැමිණීමට පෙර මෙලෙස මා එක පොරොන්දුවක් ඉටුකර තිබෙනවා. බලයට පැමිණි පසු ඉතිරි ප‍්‍රශ්න ටික විසඳන්න සූදානම්.

පොහොට්ටු ආණ්ඩුව බලයට පැමිණ මාස අටක් තුළ රට බංකොළොත් කළා. අද මේ ආණ්ඩුවට කිසිම ආදායමක් නැහැ. ඒ නිසා සෑම තැනකින්ම මුදල් සොරකම් කරන්න උත්සාහ කරනවා.

අද මේ රටේ ජනතාවගේ ආදායම් මාර්ග බිඳවැටිලා, ඒ ජනතාව අසරණ වෙලා. එලෙස ජනතාවගේ බඩට පහරවැදී ඔවුන් අසරණ වී සිටින අවස්ථාවක විදුලි බිල්, ජල බිල් ගෙවන්න කියමින් ආණ්ඩුව කිසිදු ලැජ්ජාවක් නැතිව බල කරනවා.

2001 මා ආණ්ඩුව ගත් අවස්ථාව වන විට රට ප‍්‍රශ්න රැසකට මුහුණ පා සිටියා. රටේ සංවර්ධනය ඇණහිට තිබුණා. සංවර්ධනය අඩාල වුණා. ආර්ථිකය සෘණ අගයක් දක්වා පහත වැටුණා.

2015 වසරේ අපි ආණ්ඩුව පිහිටුවන අවස්ථාව වන විට රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමකට ලක්ව තිබුණා. අප බලයට පත්වන විට මේ රට කොතෙක් ආර්ථික පීඩාවන්ට පත්ව තිබුණේද කියනවා නම් රටක් වශයෙන් ලබාගෙන තිබූ ණයවලින් වාරිකය ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව තිබුණා.

අද පවතින මේ ආර්ථික අර්බුදය මාස තුනකින් අවසන් වන්නේ නැහැ. එය මාස හයකින් අවසන් වෙන්නේ නැහැ. මේ අර්බුදය වසර දෙකකින් අවසන් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කරනවා. වෙනත් අය අවුරුදු තුනක් පවතින බව කියනවා. මේ තත්ත්වය සමග ජනතාවට ජීවත් විය හැකිද යන ප‍්‍රශ්නය අද මතුව තියෙනවා.

රටේ ආර්ථිකය ආරක්ෂා කරමින් එය ගොඩනගමින් ඔබේ ආර්ථිකය දියුණු කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. පොහොට්ටුවට මෙය කළ නොහැකි බව දැන් මාස අටක් තිස්සේ ඔප්පු කර තිබෙනවා.

අද මේ රටේ විශාල විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මේ ආණ්ඩුවට නොදුන්න ඩොලර් මිලියන 6000 අරගෙන දෙන්න මම ලෑස්තියි. ඒ මුදල ලැබෙනවා නම් ලංකාවේ රුපියල ශක්තිමත් කිරීම අපහසු වන්නේ නැහැ.

අද මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කර තිබෙනවා. තව ටික කාලයක් මේ පාලනය පැවතුණොත් ගෙදර ආර්ථිකයද සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා. අද මේ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදී රට ගොඩගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ සඳහා විසඳුම් මට නැත්තම් මම මෙලෙස මේ ගැන කියන්නෙවත් නැහැ.

ඒ නිසා ගෙදර ආර්ථිකය ආරක්ෂා කර ඔබේ බර අඩුකර ගන්න. ඔබට සහනයක් ලබාගන්න අගෝස්තු 05 වැනිදා ඡන්දපළට ගොස් අලියා ඉදිරියෙන් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස