ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමග පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස්වී ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමි වී ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම තත්ත්වය නිසා යම් පනතක් සම්මත කිරීමේදී අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීම ද ඉදිරියේදී ගැටලුකාරී වනු ඇති අතර යම් පිල්මාරුවක් ද සිදුවීමේ හැකියාව තිබේ. විශේෂයෙන් ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවත් සමග නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ පාර්ශ්වයක් විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කරනු ඇත.
ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව මේ වන විට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පනතක් සම්මත කිරීමට මන්ත්‍රීවරුන් 113 අවශ්‍ය වුව ද මේ වන විට එය අහිමි වී ඇත.