2022 මැයි 09 වෙනි දින පාක්ෂිකයන් කොළඹට ගෙන්වීම නොකරන ලෙස තමන් අරලියගහ මන්දිරයට ගොස් ඊට පෙර දින ඉල්ලා සිටි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඊට ඇහුන්කම් නොදී අහිංසක පාක්ෂිකයන් කොළඹට ගෙන්වා ගුටි කෑමට සලස්වා අවමානයට පාත්‍ර කළ පිරිස දැන් එලෙස පහර දීම සාධාරණ යැයි ප්‍රකාශ කරන බවටයි, ඇමැතිවරයා චෝදනා කළේ.
එදා ගත් තීන්දුව මෙන් ම මෙදා රනිල් වික්‍රමසිංහට සහාය නොදී පරාජය වීමට ගත් තීන්දුව ද වැරදි බව හෙතෙම අවධාරණය කරයි.
එම තීන්දු පක්ෂයේ යහපත සඳහා නොව හුදු පෞද්ගලික උවමනා වෙනුවෙන් තමන් ද දරදිය ඇද ගොඩනැගූ පක්ෂය විනාශ කිරීමට ගන්නා ඒවා බව ද ඇමැතිවරයා කීය.
මෙම තීන්දුව ගැන සති කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ රනිල්ට සහය දිය යුතු බවත් පක්ෂය වෙන තීන්දුවක් ගතහොත් තමන්ට ස්වාධීන තීන්දුවක් ගන්නා ලෙස ඔහු ප්‍රකාශ කළ බවත් ප්‍රසන්න රණතුංග අනාවරණය කරයි. චමල් රාජපක්ෂ ද සිටින්නේ එම අදහසේ බවයි, ඔහු සඳහන් කළේ.
කෙසේ වුව ද පක්ෂය තමන්ට එරෙහිව තීන්දුවක් ගන්නේ නම් ඊට මුහුණ දීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් දැනටමත් තමන් සතුව ඇති බව ද ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ඊයේ ගම්පහ, උඩුගම්පළ සිය නිවසේ පිහිටි කාර්යාලයේ දී ආධාරකරුවන් පිරිසක් අමතමිනි.