පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ජනපති සිරිසේනට නෑ! පක්ෂයේ ඒකමතික තීන්දුවෙන් අපේක්ෂකත්වය ගෝඨාභයට!

March 25, 2019 at 3:30 pm | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයක ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමට කිසිදු හැකියාවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂටකු සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පක්ෂයේ ඒකමතික කැමැත්ත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ නම සලකා බැලීමට පවා බහුතර පාක්ෂිකයන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ද දැඩි ලෙස විරුද්ධ වී තිබේ.

මේ සම්බන්ධව නායකයන් දෙදෙනා අතර පසුගිය සතියේදී සාකච්ඡාවක් පැවති ඇති අතර එහිදී විපක්ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයාට මේ බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පොදු සන්ධානයක් සෑදීම පිළිබඳ සාකච්ඡා නියමිත ලෙස ඉදිරියට යන බවද එම හෙතෙම පැවසීය. ඒ අනුව එහි තෙවන සාකච්ඡා වටය එළඹෙන අප්‍රියෙල් 10 වනදා පැවැත්වේ.

අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිල වශයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ නොකලද නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් තම ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව කිහිප විටක්ම අවධාරණය කරන ලදි.

මේ අතර ජනාධිපතිවරයා නැවත එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වීමේ සැලසුමක් ඇතැයි ද වාර්තා වෙයි. සති කිහිපයකට පෙර ඔහු ප්‍රකාශ කළේ සොර මුලක් අසලට වැටුණු ගිරා පැටවාට සිදු වූ දෙය තමන්ට ද සිදු වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස