පොලිස් කුඩු මුදලාලි මතට තිත තියන්නත් බැහැලාම වැඩ!

February 1, 2019 at 1:28 am | by admin

මත්කුඩු ජාවාරමට සම්බන්ධව පෑලියගොඩ පොලිසියේ කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් ඇප කැපවී ක‍්‍රියාකළ අයකු බව මෙතෙක් කළ පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මත් උවදුරුවලින් රටට වන හානිය පෙන්වා දීමට පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට මෙම කොස්තාපල්වරයා පුරෝගාමීව කටයුතු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔහු කිරිබත්ගොඩ, ඊරියවැටිය, දළුගම ප‍්‍රදේශවාසීන්ගේද උදව් ඉල්ලා ඇත.

රාජකාරි කටයුතු සම්බන්ධයෙන් හෙතෙම පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ පැසසුමටද ලක්වී ඇත.

කෝටි ගණන් වටිනා මත්කුඩු පාර්සල් තම බිරිඳට ලබාදී අලෙවි කරන ආකාරය සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා බිරිඳට උපදෙස් දී ඇත.

මෙම කොස්තාපල්වරයාගේ නිවසට විවිධ පුද්ගලයන් පැමිණෙන අතර අසල්වැසියන් තමන් පිළිබඳව සැක නොකිරීම නිසා ඔහුගේ බිරිඳ මත්කුඩු අලෙවිය නිදහසේ සිදුකර ඇත.

පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ මත්කුඩු සමග පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කොටුවීමෙන් පසු ඇයගේ ප‍්‍රකාශ අනුව කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පරීක්‍ෂණවලින් පසු කොස්තාපල්වරයාගේ සේවය තහනම් කරන බවත් මේ පිළිබඳව පෑලියගොඩ පොලිසියද පරීක්‍ෂණ ආරම්භ කළ බවත් බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම කොස්තාපල්වරයා පෙනුමෙන් මෙන්ම හැසිරීමෙන්ද අහිංසකයකු ලෙස ජීවත් වූ බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *