පුරාවස්තු සුරකින්න ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්! – ජනපතිගෙන් මහ සඟරුවනට ප්‍රතිඥාවක්…

May 22, 2020 at 11:03 pm | by emanisa.lk

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතා ජනාධිපතිවරයා මේ බව පැවසීය.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුම්වත් කළහ. ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ද ජනාධිපතිවරයා කීය.

ජාතික ආරක්ෂාව ගැන තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී තිබේ. සියලු අන්තවාදී හා ත්‍රස්තවාදීකණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා කළ කථාවට උපහාර දැක්වීමට ශබ්ද කෝෂයේ වචන නැතැයි සඳහන් කළ මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ඒ පිළිබඳව ආශිර්වාදය පළ කළහ.

කොරෝනා වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ දී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් ඇති අතර,ඒ සඳහා භික්ෂුන් වහන්සේගෙන් සැදුම් ලත්කමිටුවක් ඉදිරියේ දී පත් කර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරීආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන,අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචර්ය කුඹුරුගමුවේ වජිර යන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවටවැඩම කර සිටියහ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ද සාකච්ඡාවට එක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස