ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (එල්.සී.) විවෘත කර දෙන්නේ නම් රටේ සම්පූර්ණ අවශ්‍යතාව සපුරාලමින් ඉල්ලුමට සරිලන පරිදි ගෑස් ගෙන ඒමට තම සමාගම සූදානම් යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, මෙරට පාරිභෝගිකයින් මසකට ගෑස් මෙට්‍රික් ටොන් 45,000ක් – 50,000ක් පමණ පාවිච්චියට ගන්නා බවත් ඒ සම්පූර් ගෑස් අවශ්‍යතාව සපුරාලීමට සිටින ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ගෑස් ලබාගෙන අවශ්‍ය නම් ලිට්‍රෝ සමාගමට ද ඒවා ලබා දීමට තමාට හැකියාව ඇති බවයි.
මේ වන විට රටේ ඩොලර් හිගය නිසා තම සමාගමට අවශ්‍ය වන ගෑස් ප‍්‍රමාණය මෙරටට ගෙන ඒමට නොහැකි වී ඇතැයි ද රජය මැදිහත්වී අදාළ ඩොලර් මුදාහැර එල්. සී. විවෘත කර දෙන්නේ නම් නියම ප‍්‍රමිතියෙන් යුත් ගෑස් මෙරටට ගෙනත්දීමට තමා සූදානම් යැයි ද ඔහු සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම මගින් මෙරටට ගෙනැවිඕ තිබෙන ගෑස් නෞකා දෙකක තිබෙන ගෑස්වල එතිල් මර්කැප්ටන් සංයුතිය නිසි පරිදි නොමැති නිසා එම ගෑස් ගොඩබෑම ප‍්‍රතික්‍ෂෙප කිරීමට පාරිභෝගික අධිකාරිය මේ වන විට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙට්‍රික් ටොන් 3700කින් යුත් ගෑස් අඩංගු නෞකාවක් සහ මෙට්‍රික් ටොන් 3200කින් යුත් තව ගෑස් අඩංගු නෞකාවක් වරායේ සිර වී තිබේ.
මේ හේතුව නිසා රට තුළ බරපතළ ගෑස් හිගයක් නිර්මාණය වී තිබෙන අතර ඉදිරි දිනවල දී ගෑස් හිගය තවත් උග‍්‍ර වනු ඇතැයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.