පිටකොටුව ගඳ ගැස්සූ පාවෙන වෙළඳසැල් පරිශ්‍රය පිළිසකර කර ජනතා අයිතියට….! නවම් මාවතේ සිට බෝට්ටු සේවයක් ඇතුළු අලුත් අංග රැසක්….!

April 7, 2021 at 12:22 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අතහැර දැමූ පිටකොටුව පාවෙන වෙළඳ පරිශ්‍රය නැවත පිළිසකර කර අද (07) නැවත ජනතා අයිතියට පත්කර තිබේ.

පාවෙන වෙළඳ පරිශ්‍රය සහ අවට ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා රජය වැය කරන ලද මුදල රුපියල් මිලියන 35කි.

වර්තමාන ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් අනුව ඉදිකෙරුණු කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළේ 2014 වර්ෂයේ අගෝස්තු 25 වනදාය.

එහි පැවැති වෙළඳසැල් 103 අතරින් ප්‍රමාණයෙන් 80% ක් පමණ පසුගිය සමයේ වැසී ගොස් තිබිණි.
රුපියල් මිලියන 312 ක් වැය කරමින්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ පාවෙන වෙළඳ පරිශ්‍රය සඳහා වියදම් වූ මුදලින් 50% ක මුදල වසර 05කින් නැවත උපයා ගැනීමට සැලසුම් කර තිබිණි.

ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව නව ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ දී කුඩා උද්‍යානයක් ඉදිකිරීම, ජලය පිරිසිදු කිරීම සඳහා ජල උපාංග පද්ධතියක් සවි කිරීම, පදිකයින් සඳහා පාලමක් ඉදිකිරීම, ඩී.ආර්. විජේවර්ධන මාවත සහ පාවෙන වෙළඳ පරිශ්‍රය පදික මාරුවක් මඟින් සම්බන්ධ කිරීම යන කාරණා ද ඇතුළත් වන පරිදි මෙම සංවර්ධන කටයුතු තවදුරටත් දියත් කිරීමට නියමිතය.

මීට අමතරව ඩී.ආර්. විජේවර්ධන මාවත හා නවම් මාවත අවට ප්‍රදේශවලට බෝට්ටු සේවාවක් ඇති කිරීම යන කාරණා ද යෝජනා මඟින් ඉදිරිපත් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුව ආකර්ෂණීය භූමි දර්ශනයක් සහිත විවෘත භූමි ප්‍රදේශයක් පවත්වාගෙන යාම සඳහා වන යෝජනා ද මෙයට ඇතුළත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *