හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වසමින් සිටිය දී නාඳුනන පිරිසක් පැහැරගෙන ගිය බව කී හිමිනමගේ සිරුර ඝාතනය කර පුළුස්සා දමා කොටදෙනියාව කනත්තේ දමා ගොස් තිබිය දී ඊයේ (04) සොයාගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි නමැති හිමිනමකි. හිමිනමගේ ඝාතනය සම්බන්ධයෙන් එම ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 13 හැවිරිදි හිමිනමකගේ මව සහ ඇගේ හිතවතකු හොරණ කිරිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අටදෙනකුගෙන් පමණ සමන්විත පුද්ගල කණ්ඩායමක් පසුගිය 2 වැනිදා රාත්‍රියේ හිමිනම පැහැරගෙන ගොස් තිබිණි. එම අවස්ථාවේ දී විහාරස්ථානයේ 13 හැවිරිදි හිමිනමගේ මව්පියන් ද තවත් ගිහියන් දෙදෙනකුද සිටි බවට දෑසින් දුටු සාක්ෂි තිබේ.
මේ පිළිබද විහාරයේ තවත් හිමිනමක කරන ලද පැමිණිල්ල මත හංවැල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර ඇතුළු නිලධාරීන් හා මිරිහාන අපරාධ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් සිදුකරයි.
ඒ අනුව ලද තොරතුරු මත කොටදෙනියාව ප්‍රදේශයේ සොහොන් බිමක පුළුස්සා දමා තිබූ හිමියන්ගේ සිරුර සොයාගත් බවත් එම සිරුර ධම්මසිරි හිමියන්ගේ බවට සේනාසනයේ හිමිවරුන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවත් පැවැසේ. දේහය පරීක්ෂණ සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයට යවා ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.