පාස්කු ප්‍රහාර කමිටුව නාටකයක්! රනිල් අධ්‍යක්ෂණය කරලා කරූ රඟ දක්වනවා! මම නම් යන්නේ නෑ! – ජනපති

June 26, 2019 at 3:05 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුව තමන්ට කැඳවීමක් සිදුකර නොමැති බවත් එහි යාමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මෙම විශේෂ කාරක සභාව දේශපාලන නාටකයක් බවත් එය අරලියගහ මන්දිරයේ අධ්‍යක්‍ෂණය කර පාර්ලිමේන්තුවේදී රඟ දක්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවද මෙම විශේෂ කාරක සභාව අද (26) පස්වරු දෙකට පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිතය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා ද අද විශේස කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතය.

මාස 4 කින් පැවැත්වෙන ජනාධිපතිවරණයට කිසිදු පක්‍ෂයක් මෙතෙක් සිය අපේක්‍ෂකයන් නම් කර නොමැති බවත් සියලුම පක්‍ෂවල අභ්‍යන්තරයේ අර්බුද පවතින බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වෙනත් දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් නම් කර නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටද ඒ සම්බන්ධයෙන් හදිසියක් නොමැති බව පැවසීය.

සිය පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ගන්නා තීන්දු අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සිය තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රට දේශපාලනික වශයෙන් අස්ථාවර වූ බවත් එය ජනාධිපතිවරණයට පෙර හෝ පසුව අහෝසි කළ යුතු බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරිණි.

සෝෆා හෝ අමෙරිකානු හමුදා මෙරටට ගොඩබසින ගිවිසුම්වලට තමන් විරුද්ධ බවත් ඒ පිළිබද කැබිනට් මණ්ඩලයේදී ද තමන් පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස