පාස්කු ප්‍රහාරයෙන් පසු කොළඹ අදත් නිහඬයි! පාසල් සිසුන් බහුතරය තවමත් නිවෙස්වල!

May 13, 2019 at 12:06 pm | by admin

අලුත් සතියක ආරම්භය සනිටුහන් කරන සඳුදා දිනය කොළඹ ඉතාමත් ජනාකීර්ණ සහ කාර්යබහුල වීම සාමාන්‍ය ස්වභාවය වුවත් අද දින කොළඹ ඉරිදා දිනයක් මෙනි. වෙනත් සඳුදා දිනවල කොළඹට පිවිසෙන වාහන නිසා මාර්ගවල දැඩි වාහන තදබදයක් දක්නට ලැබුණ ද අද එවැනි තත්ත්වයක් දක්නට නොලැබිණි.

පාස්කු ප්‍රහාරය නිසා කිහිප වරක් කල් දැමූ පාසල්වල දෙවන වාරය ආරම්භ කර අද දින ප්‍රාථමික සිසුන් සඳහා ද පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්න ද පාසල් සිසුන්ගේ පැමිණීම ඉතාම අඩුය. බස්නාහිර පළාතේ බොහෝ පාසල්වල සිසුන් 50-100කට වඩා පැමිණ නැති බව වාර්තා වෙයි. කොළඹ ආනන්දම විද්‍යාලේය ප්‍රාථමික අංශයේ සිසුන් පැමිණ ඇත්තේ 10 දෙනෙකු පමණි.

විශාල කාර්යාල ප්‍රමාණයක් පිහිටි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වැනි ස්ථානවල සියලු සේවක පිරිස් දැඩි පරික්ෂාවට ලක් කළ නිසා විශාල පෝලීම් දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් බෙහෙවින් කාර්යබහුල වන බොහෝ ස්ථාන පාළුවට ගිය ස්වභාවයක් දැකිය හැකිය. බොහා් සේවා ස්ථානවල සේවක පිරිස් අඩුය. පාස්කු ප්‍රහාරයට පසු නැවත සුපුරුදු ජීවිතයට අනුගත වීමට ජනතාවට තවමත් නොහැකි වී ඇති බව පෙනේ.

පසුගිය වසර 10ක කාලය තුළ මෙවැනි තත්ත්වයක් කිසි විටක ඇති වූයේ නැත. කොටි ත්‍රස්තවාදීන් මහ බැංකුව, ගුවන්තොටුපළ, තෙල් ටැංකි ආදී ස්ථාවලට පහර දුන් අවස්ථාවල පවා මෙවැනි තත්ත්වයක් ඇති වූයේ නැත. ආණ්ඩුවේ බලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු සුපුරුදු දෛනික කටයුතු ආරම්භ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති. පාස්කු ප්‍රහාරය සමග ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි වූ විශ්වාසය බිඳ වැටුණු බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස